අල්ලස් කොමිසමේ ජංගම දුරකථන බිල් නඩුවෙන් ඇමති කෙහෙළිය නිදහස්

දෙසැ 20, 2019

    ඉකුත් රජය සමයේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    2012 වසරේ මාර්තු මස 15 වනදා සිට එම වසරේ අප්‍රේල් මස 14 වන දා දක්වා කාලසීමාව තුළ එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් පෞද්ගලික ජංගම දුරකථනයෙහි බිල වන රුපියල් දෙලක්ෂ තිස් දහසක මුදලක් රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ එම සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබිණ.

    මෙම නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම නඩුව පැවරීමට අදාල එම කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාගේ ලිඛිත අනුමැතිය අධිකරණය හමුවේ ගොනු කර නොමැති හෙයින් එය විභාග කොට පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරු විසින් මූලික විරෝධතාවක් එම අධිකරණය හමුවේ මතු කර තිබිණ.

    එහෙත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුව විභාග කිරීමට තීන්දු කළ අතර එම තීරණයට එරෙහිව කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරු විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේය.

    එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේ නඩුවක් ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතිය ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය අංගයක් බව මෑතකදී අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු තීන්දුවක සඳහන් කර ඇති බවයි.

    එහෙත් මෙම නඩුව පැවරීමේ දී අල්ලස් කොමිසම එම අවශ්‍යතාව සම්පූර්ණ කර නොමැති හෙයින් එය නීතිය ඉදිරියේ බලරහිත නඩුවක් බවද විනිසුරුවරයා සඳහන් කළේය. ඒ අනුව මෙම නඩුව ගොනුකර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම තීරණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අවශ්‍ය කටයුතු කිරීම සඳහා යොමු කරන ලෙසද නියම කළේය.

    Last modified on සිකුරාදා, 20 දෙසැම්බර් 2019 16:17

    Latest News