සජිත් වසර 4 1/2 නොබැලු රජයේ කර්මාන්ත ශාලාවට සලකන්න ඉන්දික සුදානම්

දෙසැ 20, 2019

    පසුගිය රජය සමයේ රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව කඩා වැටීමකට ලක්ව ඇතැයි නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසයි.

    රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඇණවුම් සහ අනුග්‍රාහය නිසි පරිදි රජයෙන් ලැබී නොමැති බවයි ඔහු පවසන්නේ. රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ සේවකයින් මුහුණ දෙන ගැටළු සඳහා කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොලොන්නාව, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ නිරීක්ෂණ චාරිකාවකට අද (20) සහභාගී වෙමිනි.

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ යන්ත්‍රරෝපකරණ අංශය, බර වෑද්දුම් අංශය, වඩු කාර්මික අංශය, වාත්තු අංශය, සැහැල්ලු වෑද්දුම් අංශය, ලෝහ කැටයම් අංශය, වාහන අංගනය සහ ප්‍රධාන ගබඩාව යන අංශ වෙත අමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක්විය. රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්‍යවරයා එහි සේවකයින් සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක නිරත විණ.

    හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගිය වසර 4 ½ තුළ එක් දිනක්වත් මෙම ආයතනයට නොපැමිණි බව ඔහු කියා සිටියේය. සේවකයින් මුහුණ දෙන ගැටළු රැසක් පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබිණ. එම ගැටළු සඳහා කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා පොරොන්දු වුයේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “2015 වසරෙන් පසුව මෙම ආයතනයේ කඩාවැටීම සිදු වී තිබෙනවා. පසුගිය රජය සමයේදී අවශ්‍ය ඇණවුම් සහ අනුග්‍රාහය නිසි ලෙස මෙම ආයතනයට ලැබී නැහැ. මෙම ආයතනය මෙසේ කඩා වැටුණේ කොහොමද කියා බලන්නට අවශ්‍ය. කලින් සිදු වුණු දේවල් නැවත සිදු නොවන්නට අප වග බලා ගත යුතුයි. සේවකයින් අද අපෙන් ඉල්ලුවේ ඔවුන්ට වැඩ ලබා දෙන්න කියලයි. එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමග සාකච්ඡා කර අවශ්‍ය ඇණවුම් ලබා දීමට කටයුතු කරනවා. මෙම ආයතනය තුළ සිදු කිරීමට නොහැකි දෙයක් නැහැ. මෙහි සේවකයින්ට හැකියාව, දක්ෂතාවය උපරිමයෙන් තිබෙනවා. ඊට අවශ්‍ය උපකරණ තිබෙනවා. එම නිසා වැඩ පිටට දෙන්න අවශ්‍ය නැහැ. කඩිනමින් මෙම ආයතනය අප දියුණු කළ යුතුයි. මෙතෙක් ඔබට නොලැබුනු ආපදා ණය කඩිනමින් ලබා දීමට කටයුතු කරනවා. ඔබට තිබෙන ප්‍රශ්න ගැන අපි මාසයකට වරක් එකතු වී කතා කරමු” යනුවෙන් පැවසීය.

    වර්තමානයේ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය යටතේ පවතින රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව තුළ 400 ක පමණ සේවයේ නිරතව සිටිති. වෙහෙරගල ජලාශ ව්‍යපෘතිය, දැදුරු ඔය ව්‍යපෘතිය, රාජාංගනය ජලාශයේ වාන් දොරටු ව්‍යාපෘතිය, මොරවැව ජලාශයේ සොරොව්ව ප්‍රතිසංස්කරණය, රඔකැන් ඔය ව්‍යාපෘතිය ඇතුළු වාරි ව්‍යාපෘති රැසක් රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ. මීට අමතරව මාළිගාවිල හා අවුකන බුද්ධ ප්‍රතිමා සඳහා ආවරණ වහල ඉදිකිරීම, මහ බැංකු ගොඩනැගිල්ලේ නවීකරණය ද මෙම දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත.

    Latest News