ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාව ලබන 30 දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට (වීඩියෝ)

දෙසැ 16, 2019

    පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය මේ මස 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    ඒ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගයකට අනුවයි. ඒ අදාළ කාන්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද සවස අධිකරණයට ඉදිරිපත් කළාය. ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය, අදත් සාක්‍ෂි ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබීය. මේ, ඇයගෙන් සාක්‍ෂි සටහන් කර ගනු ලැබූ පස්වැනි දිනයයි. ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අංගොඩ මානසික වෛද්‍ය විද්‍යායතනයට රැගෙන යනු ලැබීය. ඒ, මානසික වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයකට ඉදිරිපත් කිරීම සඳහායි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර තිබුණේ, අදාළ කාන්තාව අධිකරණ මනෝ වෛද්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු මනෝ වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙසයි. උදෑසන 9.30 සිට සවස 2.00 දක්වා ගානියා බැරිස්ටර් මහත්මිය වෛද්‍ය පරීක්‍ෂණයට භාජනය කෙරිණ. අනතුරුව ඇය නැවතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබීය.

    කරුණු සළකා බැලීමෙන් පසු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද සවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දන්වා ඇත්තේ, ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව මෙම කාන්තාව රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේ චෝදනාව මත අද සවස අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරන්ත මෙනෙවිය හමුවට ඉදිරිපත් කළාය. අධිකරණය හමුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, ගානියා බැරිස්ටර් මහත්මියගේ ප්‍රකාශ තුළ දැඩි පරස්පරතාවක් ඇති බවයි. අදාළ කාන්තාව පැහැරගත් බව කියන සිදුවීමේදී තමාට ශාරිරික වඳ හංසා සිදුවූ බවට ප්‍රකාශ කළ ද සිදු කළ විමර්ශනවලදී එවැනි කිසිවක් හෙළි නොවූ බවද, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේය. මෙම සිද්ධිය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ගොතන ලද කතාවක් බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේය.

    ඒ අනුව, අදාළ කාන්තාව රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සියලු කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම තුළ සහ අදාළ කාන්තාවගේ සාක්‍ෂිවලින් පෙනී යන ආකාරයට ඇයට ශාරීරික වඳහිංසනයක් සිදු නොවී ඇති බවට, තහවුරු වන බවයි. ඒ අනුව නීතිපතිවරයාගේ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය, ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සින් මහත්මිය ලබන 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. ඒ අනුව අදාළ කාන්තාව අද රාත්‍රී 7.00ට පමණ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 20:29

    Latest News