අනයනික කසල පරික්ෂාවට රස පරීක්ෂක බැහැ කිව් පසු අධිකරණ නියෝගය

දෙසැ 12, 2019

    කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළඳ කලාප අංගනයේ රඳවා ඇති ආනයනික කැලිකසල බහාලුම් පරික්ෂාව සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක නිකුත් කළ වාර්තාව අනුව අධිකරණයේ නියෝගය ලබන 18 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද නියම කළේය.

    විදේශවලින් කැලිකසල ආනයනය තහනම් කිරීමේ නියෝගයක් ඉල්ලු පරිසර යුක්ති කේන්ද්‍රයේ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම නියෝගය කළේය.

    කැලිකසල බහලුම් තුළ අඩංගු කැලිකසල පිළිබඳව විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් රජයේ රස පරීක්ෂක වෙත නියෝගයක් නිකුත් කර තිබුණා. එ අනුව කැලිකසල බහාලුම් පරික්ෂා කිරීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව රජයේ රස පරීක්ෂක සිය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී තිබේ.

    අදාල කැලිකසල පරික්ෂා කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නියෝගය ලබන 18 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද කියා සිටියේය. ඊට අමතරව අදාළ කැලිකසල අඩංගු බහලුම් රටේ අභ්‍යන්තර ප්‍රදේශවලට ප්‍රවාහණය කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් මේ වන විට තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.

    Latest News