ආනයන කසළ දිවයිනේ ප්‍රදේශවලට රැගෙන යාම වළකමින් තහනම් නියෝගයක්

ජූලි 31, 2019

    කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පවතින විදේශවල සිට ආනයනය කළ කැලිකසල අඩංගු බව සඳහන් බහලුම් දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවලට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණය තහනම් නියෝග නිකුත් කර තිබේ.

    ශ්‍රී ලංකාවට විදේශවල සිට කැළිකසළ ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබීය.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම බහලුම් ප්‍රති අපනයනය කිරීමට හැකියාවක් පවතින බවත් ඒවා ප්‍රතිඅපනයන කිරීමට පෙර අධිකරණයෙන් අනුමැතිය ලබාගත යුතු බවත් ප්‍රකාශ කළේය.

    මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු වලින් මෙරට මහජනතාවට හානිකර පරිසරයක් නිර්මාණය විය හැකි බවට කරුණු තහවුරු වී ඇති බැවින් පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන බවද විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

    ඒ අනුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 20 වන දා සිදු කරන බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකරුවන් වෙත ඒ බව දන්වා නොතීසි නිකුත් කිරීමට ද නියම කළේය. පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුනේ විදේශවල සිට ආනයනය කරන ලද කැලිකසල අඩංගු බහලුම් සිය ගණනක් කොළඹ වරාය සහ කටුනායක නිදහස් වෙළඳ කලාප අංගනවල රඳවා තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවයි.

    එම බහාලුම් තුළ මහජන සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය රැසක් තිබෙන බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒවා දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල ප්‍රවාහනය කරනු ලැබූවොත් දැඩි අනතුරක් සිදුවිය හැකි බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

    එබැවින් අදාල බහලුම් දැනට පවතින ස්ථාන වලින් දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවලට රැගෙන යාම තහනම් කිරීමෙන් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද එම සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබුණා. ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ මෙම අතුරු ඉල්ලීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි.

    Last modified on බදාදා, 31 ජූලි 2019 11:29

    Latest News