අයහපත් කාළගුණයෙන් 30,000කට පීඩා

දෙසැ 06, 2019

    දිවයිනේ දිස්ත‍්‍රික්ක 19 කට බලපා ඇති තද වැසි, නායයෑම් අවදානම් සහ සුළං තත්ත්වයන් හේතුවෙන් පවුල් 9,175 කට අයත් 30,838 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    පීඩාවට පත්වූවන් අතරින් පවුල් 663 කට අයත් 2,081 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 31 ක රැදී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

    බදුල්ල, මොණරාගල, මඩකලපුව, අම්පාර, ත‍්‍රිකුණාමලය, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, කෑගල්ල, රත්නපුර, මහනුවර, මාතලේ, නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවල ජනතාව මෙසේ පීඩාවට පත්ව සිටිති.

    මෙම ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 11ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 358කට අර්ධ හානි සිදුව ඇතැයි කොඩිප්පිලි මහතා සදහන් කළේය.

    මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මඩකලපුව දිස්ත‍්‍රික්කයට වන අතර එම දිස්ත‍්‍රික්කයේ කෝරළේපත්තුව, කෝරළේපත්තු බටහිර, කෝරළේපත්තු දකුණ, මන්මුනේ බටහිර, මන්මුනේ උතුර, එරාවූර්පත්තු, පොරතිව්පත්තු සහ මන්මුනේපත්තු ඇතුළු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක පවුල් 6,696 කට අයත් 22,614 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

    Latest News