ශ්‍රී ලංකාවේ රාජ්‍ය දෙකක ස්ථාවරය කන්සවේටිව් ප්‍රතිපත්තියේ නැහැ; උප සභාපති පෝල් ස්කලී

දෙසැ 04, 2019

    ශ්‍රී ලංකාවේ රාජ්‍යයන් දෙකක් ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියකට සහය දැක්වීමට තම පක්‍ෂය කිසිදු අතකින් තීරණය කර නැතැයි බ්‍රිතාන්‍යයේ පාලක කන්සර්වේටිව් පක්‍ෂය අවධාරණය කරයි.

    ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිදු කළ විමසීමකට පිළිතුරු වශයෙන් කන්සර්වේටිව් පක්‍ෂ උප සභාපති පෝල් ස්කලී මේ බව සඳහන් කර තිබේ. කන්සර්වේටිව් පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශනය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කර තිබූ සඳහන ගත වූ දෙදින තුළ බෙහෙවින් මතභේදයට තුඩු දුන්නේය. බ්‍රිතාන්‍ය මහ මැතිවරණය මේ මස 12 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා වන පාලක කන්සර්වේටිව් පක්‍ෂය මැතිවරණ ප්‍රකාශනය එළිදක්වනු ලැබුවේ, පසුගිය මස 24 වැනිදායි. ඒ අගමැති බොරිස් ජොන්සන්ගේ ප්‍රධානත්වයෙන්. එහි 53 වැනි පිටුවේ ශ්‍රී ලංකාව මැදපෙරදිග හා සයිප්‍රසය පිලිබඳව විශේෂ සටහනක් තිබේ. එහි සිංහල පරිවර්තනය මෙවැන්නක්. ලොව පුරා සිදු කෙරෙන සංහිඳියාව, ස්ථාවරත්වය හා යුක්තිය අත්පත්කර ගැනීමේ අන්තර් ජාතික ක්‍රියාමාර්ගයන්ට අපි දිගටම සහය දක්වන්නෙමු. එමෙන්ම, පැරණි අර්බුදකාරී කලාපයන් වන සයිප්‍රසය, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග සම්බන්ධයෙන් රාජ්‍ය දෙකක විසඳුමකට අපි සහය දක්වන්නෙමු.

    මැතිවරණ ප්‍රකාශනය නිකුත් වීමෙන් අනතුරුව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, විදේශ සබඳතා අමාත්‍යාංශය එක්ව දැඩි ප්‍රතිචාරයක් ලබාදීමට පියවර ගත් බව, අද විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. මේ බව දැක්වෙන ලිපියක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය මගින් නොවැම්බර් 27 වැනිදා කන්සර්වේටිව් පක්‍ෂයේ සම සභාපතිවරයාට යොමු කර තිබේ. කන්සර්වේටිව් පක්‍ෂයේ උප සභාපති පෝල් ස්කලී එදිනම ඒ ගැන පැහැදිලි කිරීමක් ඊමේල් මගින් සිදු කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කර තිබේ. ස්කලීගේ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය මෙලෙස සඳහන් කළ හැකියි. “ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පක්‍ෂයේ ස්ථාවරය වෙනස් වී නැහැ. ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ නම්, රාජ්‍යයන් දෙකක් ස්ථාපනය කිරීමේ විසඳුමක් ගැන සඳහන අදාළ වන්නේ, මැද පෙරදිග ඊශ්‍රායල, පලස්තීන ප්‍රශ්නයට පමණි. ශ්‍රී ලංකාව හා සයිප්‍රසය පිළිබඳ කාර්ය භාරය නම් බෙදුණු සමාජයන් එක් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක සාමය හා සංහිඳියාව තහවුරු කිරීමේ වැඩසටහන්වලට සහය දැක්වීමයි“.

    කන්සර්වේටිව් පක්‍ෂයේ මේ ස්ථාවරය බ්‍රිතාන්‍යයේ ආහාර, පරිසර හා ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය තෙරේසා විලර්ස් විසින් ද සිය ෆේස්බුක් පිටුව මගින් සඳහන් කර ඇත. ඇගේ සටහනේ දැක්වෙන්නේ “රාජ්‍යයන් දෙකක් පිහිටුවීමේ විසඳුමක් ගැන සඳහන් අදාළ වන්නේ, මැද පෙරදිගට පමණි. එය සයිප්‍රසයට හෝ ශ්‍රී ලංකාවට අදාළ නොවේ. මේ පිළිබඳව මා කළ විමසුමකදී විදේශ අමාත්‍ය ඩොමිනික් රාබි ද එය තහවුරු කළේය.

    මේ අතර, කන්සර්වේටිව් මැතිවරණ ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව පිළිබඳ සඳහන මෙරට මෙන්ම විදේශ මාධ්‍යවල ද ඊයේ පුළුල් මට්ටමින් කතාබහට ලක්විය. ඒ අනුව කන්සර්වේටිව් පක්‍ෂයේ උප සභාපති පෝල් ස්කලී ඊයේ දිනයේ නැවත වරක් ට්විටර් සටහනකින් පක්‍ෂයේ ස්ථාවරය පැහැදිලි කර තිබේ. ඔහු දක්වන්නේ මෙවැන්නක්. ශ්‍රී ලංකාවේ පාලනය සැකසීමට කන්සර්වේටිව් පක්‍ෂ මැතිවරණ ප්‍රකාශයේ කිසිදු සඳහනක් නැහැ. රාජ්‍ය දෙකක් පිළිබඳ සඳහන අදාළ වන්නේ මැද පෙරදිගට පමණි.

    මැතිවරණ ප්‍රකාශනය නිකුත් කිරීමෙන් පසුව බ්‍රිතාන්‍යයේ පාලක කන්සර්වේටිව් පක්‍ෂයේ ස්ථාවරය පැහැදිලි කර ගැනීම සඳහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඔස්සේ කඩිනම් හා විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කළ බව විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කරයි.

    Last modified on බදාදා, 04 දෙසැම්බර් 2019 20:41

    Latest News