චානුක රත්වත්තේගේ විදෙස් ගමන් තහනම 15 දක්වා ඉවතට

දෙසැ 02, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රයක් නොමැතිව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින එන් ට්‍රස්ට් සිකියුරිටිස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන චානුක රත්වත්තේ මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ජනවාරි මස 15 වන දක්වා ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර චානුක රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරනය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට විදේශගතවීම සඳහා අවශ්‍යතාවක් මතුව තිබෙන බවත් ඒ සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ජනවාරි මස 15 වනදා තෙක් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තිකාර රත්වත්තේ මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ජනවාරි මස 15 දක්වා ලිහිල් කිරීමට නියම කළේය.මෙම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද අධිකරණය එහි රෙජිස්ට්‍රාර් වරයාට නියම කළේය.කෙසේ වෙතත් මෙම නඩුවේ ලේඛන වලට අදාළව ප්‍රකාශ කිරීමට නියමිත නියෝගයක් ලබා දීම සදහා නඩුව නැවත දෙසැම්බර් මස 13 වනදා කැඳවීමට ද විනිසුරුවරයා නියම කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව එන් ට්‍රස්ට් සිකියුරිටිස් පීඑල්සී නැමති මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම තුළින් වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 13:07

    Latest News