ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති පූනේහිදි

නොවැ 28, 2019

    ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණින්, 7 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය දෙසැම්බර් පළමු වෙනිදා (1) ඉන්දියාවේ පූනේ කුමාඕන් කඳවුරේ දී ආරම්භ කිරිමට නියමිතයි.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායේ යුද්ධ හමුදා සමාජිකයින් 120 ක් සහ ඉන්දීය හමුදාවේ ජවාන්ස් කුමාඕන් රෙජිමේන්තුවේ සෙබළුන් ඒ හා සමාන ප්‍රමාණයක් සහභාගී වේ.

    සති දෙකක කාළයක් පැවැත්වීමට නියමිත මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයට මගින් දෙරට අතර භටපිරිස් වල පවතින අන්තර් සම්බන්දතා වැඩි දියුණු කර ගැනීම, යුධ සහයෝගීතාවය, ඒකාබද්ධ උපාය මෙහෙයුම් පැවැත්වීම, යුද අත්දැකීම් හුවමාරු කර ගැනීම, අන්තර්ජාතික යුද ගැටළු පිළිබඳ අවබෝධය හා අනාගතයේදී සිදුවිය හැකි ආරක්‍ෂක තර්ජන සඳහා සුදානම් වීමට අවශ්‍ය ප්‍රමාණවත් දැනුමක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ. ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසයට සහභාගී වීමට නියමිත ගැමුණු හේවා රෙජිමේන්තුවේ නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසුනිලයින් 109 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම හෙට (29) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

    මෙය 2012 සිට වාර්ෂිකව පවත්වන යුද පුහුණු අභ්‍යාසයක් වන අතර එය දෙරට අතර පවතින අන්තර් සම්බන්දතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් ඉන්දියාවේ තුන් වතාවක් සහ ශ්‍රී ලංකාවේ තුන් වතාවක් මේ වන විට පවත්වා ඇත.

    එහිදි පාබල අවි ආයුධ ඵලදායී ලෙස යොදා ගැනීම, පාබල හමුදා තාක්‍ෂණය, ප්‍රති ත්‍රස්ථ සටන් ක්‍රම, කුඩා කණ්ඩායම් මෙහෙයුම්, සැඟවුණු වෙඩික්කරු පුහුණුව, දිගුදුර මෙහෙයුම්, ත්‍රස්තවාදී සැඟවුනු බෝම්බ ප්‍රහාර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හා දෙරට අතර වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව පුහුණු අභ්‍යාසයන් පැවැත්වේ.

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මාර්ගෝපදේශණය යටතේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සහ පාබල අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුද අභ්‍යාසය සඳහා අවශ්‍ය සියළු කටයුතු අවසන් කර ඇත.

    කර්නල් භාතිය මුදන්නායක මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ සම්බන්ධීකාරක සහ නිරීක්‍ෂක ලෙස කටයුතු කරන අතර මේජර් රුවන් එදිරිසිංහ ‘මිත්‍ර ශක්ති - VII’ යුද අභ්‍යාසයේ අධීක්‍ෂකයෙකු ලෙස කටයුතු කරයි.

    Latest News