වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට

දෙසැ 01, 2018

    මඩකලපුව, වව්නතිව්හිදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු කිලිනොච්චි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජාතික රූපවාහිනියට ප්‍රකාශ කළේ, ඔහු අද පස්වරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත බාරදුන් බවයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමට අමතරව, තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කළේය. අද අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චි වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

    මඩකලපුව වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටියදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස වෙඩි තබා ඝාතන කර තිබුණේ ඊයේ අලුයම 1.00ත්6.00ත් අතර කාලයේදීය. ඔවුන්ගේ සිරුරුවල වෙඩි තැබීමෙන් සිදුවූ තුවාල හා කැපුම් තුවාල දක්නට ලැබිණ. ටී-56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තැබීමට යොදා ගෙන ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ. පරීක්‍ෂණවල ප්‍රගතිය සොයා බැලීමට සහ අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ පස්වරුවේ වව්නතිව් ප්‍රදේශයට පැමිණියේය.

    මියගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත අද උදේ රැගෙන යනු ලැබීය. පොලිස්පතිවරයා, ඔවුන් සැරයන් නිලයට උසස් කිරීමට, පියවර ගෙන තිබේ. ඝාතනයට ලක්වූ 35 හැවිරිදි ඉන්දික ප්‍රසන්න, ගාල්ල උඩුගම ප්‍ර දේශයේ පදිංචිව සිටි එක්දරු පියෙක්. මියගිය 28 හැවිරිදි ගනේෂ් දිනේෂ් නමැති අනෙක් පොලිස් නිලධාරියාගේ දේහය කල්මුණේ පෙරියනිලාවනේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 01 දෙසැම්බර් 2018 19:20

    Latest News