ස්වෛරී ශක්තිමත් ශ්‍රී ලංකාවකට ජනපති ගෝඨාභය සමග එක්විමට අපේක්ෂාව..ඇමෙ.තානාපති 

නොවැ 18, 2019

    ස්වෛරී හා ශක්තිමත් ශ්‍රී ලංකාවක් උදෙසා ආර්ථික සංවර්ධනය, මානව හිමිකම්, සංහිඳියාව යන කරුණුවල දී ජනපති ගෝඨාභය රාජපක්ෂ සමග එක්ව ක්‍රියාකිරීම අපේක්ෂා කරන බව, අමෙරිකානු තානාපති අලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය ප්‍රකාශ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ මෙරට ජනතාවට සුභ පැතුම් එක්කරන බවයි.

    බ්‍රිතාන්‍යයේ විදෙස් හා පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ද ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කළේය. පොදු රාජ්‍ය මණ්ඩලීය සහකරුවන් ලෙස එලදායී බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සබඳතාවක් උදෙසා ක්‍රියාකිරීමට අපේක්ෂා කරන බවයි, ඔහු කියා සිටියේ. මේ අතර මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ද ශ්‍රී ලංකා නව ජනාධිපතිවරයාට සුභ පැතුම් එක්කර තිබේ.

    නේපාල අග්‍රාමාත්‍ය ශර්මා ඔලි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරණය ජයගැනීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හද පිරි සුභ පැතුම් එක්කළේය. ශ්‍රී ලංකාව හා නේපාලය අතර ශක්තිමත් සබඳතාවක් උදෙසා සමීපව ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

     

    Last modified on බදාදා, 27 නොවැම්බර් 2019 11:56

    Latest News