යහපාලන ආණ්ඩුවේ සමස්ත ක්‍රියාදාමයම ප්‍රතික්‍ෂේප කරලා; මොහාන් සමරනායක

නොවැ 17, 2019

    සවිඥානික බහුතර ජනතාව මෙවර ජනාධිපතිවරණයේ දී යහපාලන ආණ්ඩුවේ දේශපාලන, ආර්ථික, සමාජ, විදේශ ප්‍රතිපත්ති යන සමස්ත ක්‍රියාදාමයම ප්‍රතික්‍ෂේප කර ඇති බව ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසනවා.

    “මේ මොහොතේ අපේ රට මුහුණ පාන ප්‍රධාන ප්‍රතිවිරෝධතා අභියෝග නිවැරදිව හඳුනාගත් සවිඥානික බහුතර ජනතාව මෙවර ජනාධිපතිවරණයේ දී යහපාලන ආණ්ඩුවේ දේශපාලන , ආර්ථික, සමාජ, විදේශ ප්‍රතිපත්ති, සමස්ත ක්‍රියාදාමයම ප්‍රතික්ෂේප කළා. එය අපේ රටට හිතකර නොවන බව, මේ මැතිවරණ තීන්දුවෙන් ප්‍රදර්ශනය කළා. 2015 දී ඉතා ආකර්ශනීය පොරොන්දු ජනතාව හමුවේ තබමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව එදා සිටම කළේ විදේශීය බලවතුන්ගේ ආර්ථික, දේශපාලනික, මිලිටරි අවශ්‍යතාවන් සපුරාලන ක්‍රියාදාමයක් තමයි අනුගමනය කළේ. අවසාන මොහොතේ දී මේ රට බලවතුන්ගේ ගොදුරු බිමක් බවට, බලවතුන් අනාගතයේ දී මේ කලාපයේ කරන යුද්ධයකදී සටන් බිමක් බවට පත්කර තැනට රට අරගෙන යමින් තිබුණා. මේ සියල්ල ජනතාව අනුමත නොකරන බව මෙහිදී ප්‍රදර්ශනය කළා. මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය අනුව පැහැදිලිව දක්නට ලැබෙනවා මේ ප්‍රධාන ජනකොටස් වාර්ගික වශයෙන් තීරුවලට බෙදී ඡන්දය ප්‍රකාශ කිරීමක්. මෙය කිසිසේත්ම අපේ රටේ ජනකොටස් අතර අසමගිය, විරසක භාවය, විවරය පළල් කිරීමට ප්‍රයෝජනයට නොගත යුතුයි. මේ ප්‍රවණතාව පිටුපස සිටින බෙදුම්වාදී, අන්තවාදී බලවේග හඳුනාගෙන ඒ බලවේග පරාජය කරමින්, සිංහල, දෙමළ, සියලු ජනකොටස් අතර සැබෑ සමගියට මුලපුරන වැඩසටහනක ආරම්භය සඳහා මේ අවස්ථාව උපයෝගී කරගත යුතුයි. 2015 යහපාලන වෙනසට සක්‍රීය වී ඒ යහපාලන ආණ්ඩුවේ හවුල්කරුවෙකු ලෙස ක්‍රියාකරමින් සිට ජනාධිපතිවරණයේ දී වෙනත් පවිත්‍ර පක්ෂයක් ලෙසට ජනතාව හමුවට පැමිණ බලය ඉල්ලූ ජනතා විමුක්ති පෙරමුණත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා මෙවර ජනාධිපතිවරණයේදී“ යැයි මොහාන් සමරනායක මහතා පැවසීය.

    Latest News