MCC ගිවිසුමට එරෙහි පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

නොවැ 11, 2019

    ඇමරිකානු එක්සත් ජනපදය සමඟ millennium challenge corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම්වලට එළඹීම වලක්වන තහනම් නියෝගයක් රජය වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුලක් නම් කෙරේ.

    අගවිනිසුරුවරයා විසින් නම්කර තිබෙන එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා කටයුතු කරයි. එල් .ටී. බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා,  ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් කටයුතු කරති. මෙම පෙත්සම් මේ මස 13 වන දා සලකා බැලීමට නියමිතයි.
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ සහ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණ. පෙත්සම්කරුවන් කියාසිටින්නේ millennium challenge corporation වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා රජය විසින් ඈමරිකානු රජය සමග හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම, අත්පත් කර ගැනීම හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම සහ සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කීපයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට ඉකුත් 30වන දා පළ වූ මාධ්‍ය වාර්තා වලින් දැන ගත් බවයි.
    පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක්  සිදුවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි කියා සිටින්නේ.
    එබැවින් මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගිවිසුම් වලට අත්සන් තැබීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ  මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු පිරිසක් නම් කර තිබේ.
    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 11:46

    Latest News