ජූඩ් ඇන්තනි ජයමහට ජනපති සමාව

නොවැ 10, 2019

    2005 වසරේ රෝයල් පාක් ඝාතනයේ චූදිතයා වූ ජූඩ් ඇන්තනි ජයමහ හට ජනපති සමාව හිමිව තිබේ.

    ජනාධිපති විශේෂ සමාව යටතේ ඔහු බන්ධනාගාරයෙන් ඊයේ(09) පිටව ගොස් ඇති බව වාර්තා වේ.

    රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ පියගැට පෙළ මතදී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙල සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේ දීම අත්අඩංගුවට ගැනිණි.

    ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන් සිද්ධිය වූ දින ඇඟලා සිටි ඇඳුමකින් ගෙල සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වීය.

    ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.

    එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය 2012 වර්ෂයේ දී ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය. පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලද අතර, එහිදී නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුවක් ලබා දුන්නේය.

    මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද මරණ දඬුවම පැනවිය හැකි බවට 2014 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය.

    කෙසේවෙතත්, ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනිට 2016 වර්ෂයේ දී විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ ජීවිත සමාව හිමිවෙමින් ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්‌ ලෙස ලිහිල් කර තිබේ.

    ධනවත් පවුල් දෙකක දරුවන් සම්බන්ධ නඩුවක් වීමත් සමඟ මෙය සමාජයේ දැඩි කතා බහට ලක් වූ අතර, සිද්ධියට අදාළ තරුණ තරුණියන්ගේ ජීවන රටාව ගැන ද දැඩි විවේචන එල්ල විණි.

    අදාළ ඝාතනය පිළිබඳව යළිත් වරක් අවධානය පළ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රකාශයත් සමඟය.

    "මේ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත වෙලා ඉන්න ළමයාගේ පාර්ශවයෙන් මට ඉල්ලීමක් ආවා ජනාධිපති සමාව යටතේ ඔහුව නිදහස් කර දෙන්න කියලා. සිරගෙදර දී ඔහු යහපත් කල් ක්‍රියාවෙන් සිටි නිසා මම මේ ඉල්ලීම ගැන සලකා බලනවා. ඉවසීම නැති නිසා වූ සිද්ධියක් මත සිරගත වෙනකොට ඔහුට වයස 19යි," ජනාධිපතිවරයා පැවසුවේය.

    සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි. 34 වගන්තියේ (1) අනු වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය පැවරේ. එමෙන්ම, වරදකරුට ලබා දෙන්නේ සම්පූර්ණ සමාවක් ද නැතහොත් නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ද යන්නත් ජනාධිපතිවරයාට තීරණය කළ හැකිය. අදාළ වරදකරුට නියම කර ඇති දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීමට ද ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් බලය හිමි වී තිබේ.

    මේ ආකාරයට ජනාධිපති සමාව ලබාදුන් අවස්ථා කිහිපයක් ඉතිහාසයේ සටහන්වේ.


    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි 2019 ජූලි මස ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම.


    2004 වර්ෂයේ දී පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ද අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගත කෙරිණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ රජයේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි එස් බී දිසානායක කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස ද කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2006 දී එස් බී දිසානායකට ජනාධිපති සමාව ලබා දුණි.


    හිටපු හමුදාපතිවරයෙකු වන ෆීල්ඩ් මාෂල් ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව තිබූ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කළේය.


    ජනාධිපති පොදු සමාව යටතේ 71 කැරැල්ලේ ප්‍රධාන විත්තිකරුවා වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරට ජනාධිපති සමාව ලැබීම, නැක්සලයිට් චෝදනාව යටතේ සිරගත කෙ‍රුණු විජය කුමාරතුංග ජේ ආර් ජයවර්ධන ජනාධිපති සමාව යටතේ නිදහස් වීම සඳහන් කළ හැකිය.

    (BBC ඇසුරෙන්)

    Last modified on ඉරිදා, 10 නොවැම්බර් 2019 11:16

    Latest News