“විදුලි පුරාණය” ග්‍රන්ථය එළිදැක්වීම

නොවැ 08, 2019

    රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බවජනපති පවසයි.

    ශ්‍රී ලංකාවිදුලි බල මණ්ඩලයේ පාඩුව මේ වසර වනවිට රුපියල් බිලියන් 89ක් බවද ජනාධිපතිතුමා පෙන්වාදුන්නේ ය.


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ “විදුලි පුරාණය” ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් අද (08)පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.


    විදුලි බල මණ්ඩලයේ සිදුව තිබෙන දැවැන්ත කඩාවැටීම පිළිබඳ වගකීමේ දී මහජන උපයෝගිතා කොමිසමට ඉන් නිදහස් විය නොහැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.
    මේ අතර ජලසම්පාදන, ඛනිජ තෙල් සහ ශ්‍රී ලංකා ගුවන් සේවය යන ආයතනවල සිදුවන අක්‍රමිකතා රට දැවැන්ත ආර්ථික අගාධයකට ඇදදමා තිබෙන බව පෙන්වාදුන් ජනාධිපතිතුමා ආණ්ඩුවක් ලෙස තීන්දු තීරණ ගැනීමේදී මෙම ආයතනවලින් රටේ ආර්ථිකය බේරා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ද සඳහන් කළේය.


    විදුලිබලය පිළිබඳ නිත්‍ය නේවාසිකයකු, පර්යේෂකයකු හා සමීක්ෂණයකු ලෙස පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති රූබන් වික්‍රමාරච්චි මහතා විසින් “විදුලි පුරාණය” ග්‍රන්ථය සම්පාදනය කර තිබෙන අතර ප්‍රාග් ඉතිහාසයේ සිට මේ දක්වා ලංකාවේ සහ ලෝකයේ සිදුවූ විදුලිය පිළිබඳ වැදගත් හා සත්‍ය කරුණු එහි අන්තර්ගත ය.


    ග්‍රන්ථයේ පළමු පිටපත රූබන් වික්‍රමාරච්චි මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. ආචාර්ය සරත්අමුණුගම, රවී කරුණානායක යන මහත්වරුන් සහ විදුලිබල ක්ෂේත්‍රයේ විද්වතුන් ප්‍රමුඛ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News