ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවෙක් ඉවත් කළ නොහැකියි මුලින් ඉවත් කළ යුත්තේ මහින්දයි; කුමාර වෙල්ගම

නොවැ 04, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ ජාතික මහා සම්මේලනය හෙට පස්වරු 2.00ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    “ අපි ශ්‍රී ලංකා“ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේ මුලසුන හොබවන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතායි. සමුළුව පිළිබඳව අදහස් දැක්වූ වෙල්ගම මහතා..

    “ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්ෂා කරන කණ්ඩායම හෙට සම්මේලනයක් පවත්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකයින්ගෙන් 95%කට වැඩි පිරිසක් කිව්වා වෙනත් පක්ෂයකට ගොස් සහය දක්වන්න එපා කියලා. ඒ වගේම ඔවුන් කියා සිටියා අපි මේ පක්ෂය රැක ගමු කියලා. ඒවා ගණන් ගත්තේ නැහැ. තමුන්ගේ බලලෝභිත්වයට තනතුරු ගන්න පොහොට්ටුවත් එක්ක එකතු වුණා. අපි හැමෝගේම විරෝධතාවය මේ ගත්ත තීරණයට එකඟ නැහැ. අපි විරෝධය පළ කරනවා. ඒ වගේම රටේම ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂකයින්ට කියා සිටින්නේ මේ ගත්ත තීරණයට එරෙහිව සටන් කළ යුතු බවයි. කිසි දේකට බය නැහැ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනවා කියන ඒවා සියල්ල බොරු ඒවා කරන්න බැහැ. එහෙම නම් මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය මීට පෙරයි අත්හිටුවන්නට තිබුණේ. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින්ට බය කිරීමට කරන ප්‍රකාශයක් මේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වසර 38ක් අඛණ්ඩ සාමාජිකයෙකු ලෙස සිටි කෙනෙකු හැටියට මං තරම් පරණ කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තවත් නැහැ. ඒ නිසා මම ආරාධනය කරනවා සැබැවටම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආදරය කරන හැමෝටම හෙට සුගතදාස ක්‍රීඩාංගණයට එන්න අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සම්මේලනය පවත්වමු. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් හෙට අපි සාකච්ජා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රැකගැනිමට ලැබී ඇති අවසන් අවස්ථාව බව“ ඔහු කියා සිටියේය.

    Latest News