බෙංගාල බොක්කේ පවතින කැළඹිලි ස්වභාවය නිසා දකුණු මුහුද රළු වෙයි (වීඩියෝ)

ඔක් 28, 2019
  • ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි සහ මුහුද රළුවීමේ තත්ත්වයන් බලාපොරොත්තු වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    එම නිවේදනයට අනුව ඌව, දකුණ, බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150-200ට අතර තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

    විශේෂයෙන් දිවයින හරහා ගොඩබිම සුළඟේ වේගය 50kmh-60kmh පමණ රළු ස්වභාවයක් ගැනීමේ හැකියාවක් ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    ඒ අතර මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදී ඇති නිවේදනයට අනුව, ශ්‍රී ලංකාවට නිරිත හා දකුණු දෙසින් පවතින තත්ත්වය හේතුවෙන් මන්නාරම සිට පුත්තලම-කොළඹ-හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ තද වැසි ඇති වීමේ හැකියාව පවතින අතර මේ සමගම 70kmh-80kmh පමණ තද සුලං ඇතිවීමේ හැකියාවක්ද පවතියි.

    විශේෂයෙන්ම මෙම තත්වය බොහෝ විට ඇතිවිය හැකි වන්නේ ගිනිකොන, දකුණ, නිරිත සහ බස්නාහිර මුහුදු ප්‍රදේශවල වන බැවින් ධීවර හා නාවික කටයුතුවල යෙදීම ඉතාමත් අවදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    මන්නාරම සිට පුත්තලම කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශ ඉතාමත් අවදානම් තත්ත්වයක පවතින බැවින් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂයෙන් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ වේගය පැයට කිලෝමීටර 50ක් 60ක් පමණ වේගයක් බලාපොරොත්තු වේ.

    මේ අතර අද(28) පොළොන්නරුව මැදිරිගිරිය හරහා හමාගිය සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 10ක් පමණ අර්ධ හානි මේ විට වාර්තා වී තිබේ.

    එමෙන්ම දැදුරුඔය වාන් දොරටු 4ක්, රාජාංගනය වන 2ක්, අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක් සහ කැනියොන් ජලාශය වාන් දොරටු 1ක් මේ වනවිට විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. එම නිසා පහල වාරි කලාපවල සිටින ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසු වීම ඉතාමත් වැදගත් බවද මෙම ජලය භාවිතා කිරීම අවදානම් බවද ඔවුන් සඳහන් කරයි.

    ඒ අතර නාය යාම් නිවේදන ඉවත් කළ ද කඳුකර ප්‍රදේශයේ ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසු වන ලෙස හා පහල සිට ඉහලට ඇතිවන ඉරිතැලීම් සහ දිය උල්පත් මතුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දැනුම් දෙයි. එමෙන්ම අකුණු අනතුරු අවම කරගැනීම සඳහා ජනතාව ක්‍රියා කළ යුතුය බවද ඔවුන් සඳහන් කරයි.

    ඒ අතර දිවයිනේ සියලුම දිස්ත්‍රික්වල ආපදා කළමනාකරණ ඒකකය හා ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු සියළු පාර්ශව සුදානමින් පසුවන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.

    යම් ආපදාවක් දැනුම් දීමට 117 දුරකතන අංකය පැය 24 පුරාම විවෘතව පවතින බවද ඔවුන් නිවේදනය කරයි.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 20:10

    Latest News