මි.මි 100 ඉක්මවූ තද වැසි;නාවික ප්‍රජාවට රතු එළියක්

ඔක් 28, 2019

    ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද සිට දිවයිනේ (විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල) වැසි තත්ත්වය වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ වන තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ වන තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    දිවයිනට ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, මාතර සිට මඩකළපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙයි.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනට ගිනිකොණ, නැගෙනහිර සහ දකුණු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වර්ෂාපතනයන් ඇති විය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 07:35

    Latest News