රාවය යළිත් වරක් මාධ්‍ය සදාචාරය කෙලසයි (වීඩියෝ)

ඔක් 27, 2019

    රාවය පුවත්පත අසත්‍ය තොරතුරු පළ කරමින් යළිත් වරක් මාධ්‍ය සදාචාරය කෙළසා තිබේ.

    එම පුවත්පත “සැලළිහිණියා දිගටම ඡන්ද නීති කඩයි“ යනුවෙන් පළ කළ ප්‍රවෘත්තිය ද්වේශ සහගත හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් පළ කරන ලද්දක් බව සැලකිය යුතුය. අද ප්‍රකාශයට පත්කරන ලද රාවය පුවත්පතේ ප්‍රවෘත්තියට පාදක වී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් නේත්‍රා දෙමළ නාලිකාවේ වැඩබලන අධ්‍යක්‍ෂ තනතුරට යූ.එල්. යාකුබ් පත්කර ඇති බවට ප්‍රකාශ කිරීමයි. ඔහුගේ පත් කිරීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාවේ නීති හා විමර්ශන අතිරේක මැතිවරණ කොමසාරිස්, බී.පී.සී.කුලරත්න මහතාගේ අනුමැතිය යටතේ එම පත්වීම සිදුකර තිබේ. අදාළ නිලධාරියා පත්කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පසුගිය 18 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද ලිපියට අනුකූලව එම අනුමැතිය ලැබී තිබේ.

    අදාළ තනතුරේ වැඩ බැලීමේ පදනමින් සේවය කළ නිලධාරියා පසුගිය 19 වැනිදා විශ්‍රාම ගොස් ඇති බැවින්, ඊට නාලිකාවේ කාර්ය මණ්ඩලය සඳහා නායකත්වය ලබාදීමට නිලධාරියෙකු නොමැති බැවින් අධ්‍යක්‍ෂ (නේත්‍රා) තනතුර සඳහා සුදුසු නිලධාරියෙක් බඳවා ගන්නා තෙක්, යු.එල්.යාකුබ් මහතා වැඩබැලීම සඳහා පත්කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ විරුද්ධත්වයක් නොමැති බව, අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ ලිපියේ සඳහන්.

    මීට පෙරද සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවක කොටස් කිහිපයක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් රාවය පුවත්පත අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කොට තිබිණ. එකල කීර්තිමත් පුවත්පතක් වු රාවය දිගින් දිගටම එක් පුද්ගලයෙකු පදනම් කර ගනිමින් ජාතික රූපවාහිනියේ කීර්ති නාමය කෙලෙසීමට ව්‍යාජ හා අසත්‍ය තොරතුරු පදනම් කරගනිමින් ප්‍රවෘත්ති පළ කිරීම දැඩිව හෙළා දකිනවා. දිගින් දිගටම රාවය පුවත්පත කරුණු සොයා බැලීමකින් තොරව මැතිවරණ කාලසීමාව තුළදී ජාතික රූපවාහිනියට එරෙහිව ප්‍රවෘත්ති පළ කිරීම යම් යටි දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වන්නක් ද යන්නක් ද සැක සහිත වේ. මැතිවරණ කාලසීමාවකදී මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම හෙළා දකින අතර, මේ සම්බන්ධයෙන් ජාතික රූපාවහිනියෙන් කරුණු විමසීමක් ද සිදුකර නැහැ. සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවට අදාළ මුදල ගෙවා ඇතත්, ඒ සම්බන්ධයෙන් ද රාවය පුවත්පත දිගින් දිගටම අභූත චෝදනා එල්ල කරයි. එම කතාවේ කොටස් ඇතුළත් වැඩසටහන විකාශය කිරීමට මැතිවරණ කොමිසන් සභාවේ නීති හා විමර්ශන අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා මීට ප්‍රථම අනුමැතිය ලබා දී තිබිණ.

    Last modified on ඉරිදා, 27 ඔක්තෝබර් 2019 20:27

    Latest News