කිසිම විටක රණවිරු පරපුර පාවා දෙන්නේ නැහැ; අමාත්‍ය සජිත් (වීඩියෝ)

ඔක් 24, 2019

    පසුගිය කාලයේ රණවිරුවන් විදුලි පුටුවට, දංගෙඩියට ගෙන යන බවට කිඹුල් කදුළු හෙළු ප්‍රතිවාදී අපේක්‍ෂකයා පසුගියදා ලෝකය ඉදිරියේ මෙරට විරෝදාර රණවිරුවන් පාවා දුන් බවත්, තමන් කිසිම විටක මෙරට රණවිරු පරපුර පාවා නොදෙන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (23) රාත්‍රී කිරිබත්ගොඩ නගරයේ පැවති ජන හමුවට එක්වෙමිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය. “එළඹෙන ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව කැළණිය නාගරික බල ප්‍රදේශයේ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට කටයුතු කරනවා. පෑලියගොඩ සහ කිරිබත්කොඩ ප්‍රදේශයේ මාර්ග තදබදය අද බරපතල ගැටළුවක් වී තිබෙනවා. ඒ සඳහා අප කඩිනමින් විසඳුම් ලබා දෙනවා. විරෝදාර රණවිරුවන් පසුගිය කාලයේ දී මෙන් රටේ ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ උදවියට බැල මෙහෙවර කළ යුගය අප ක්‍රියාත්මක කරන්නේ නැහැ. රණවිරු පරපුර ඇතුළු මුළු ආරක්‍ෂක ක්ෂේත්‍රයම අප නිර්දේශපාලනීකරණය කරනවා. ඔවුන්ට හොඳ වැටුපක් සහිතව අභිමානවත් ලෙස රැකියාව සිදු කරන්නට ඉඩ ලබාදෙනවා. රණවිරු පරපුරට ලබාදිය හැකි ඉහළම සුබසාධනය අප ලබා දෙනවා.

    අද රණවිරුවන් ගැන විපක්‍ෂයේ පිරිස් කිඹුල් කදුළු හෙලනවා. නමුත් ඔවුන් එදා බලයේ සිටින විට රණවිරුවන් බිල්ලට දුන්නා. තමන් කිසිම විටක මෙරට රණවිරුවන් පාවා දෙන්නේ නැහැ. යුධ ජයග්‍රහණය හිමිකර දුන් රණවිරුවන්ට එරෙහිව චෝදනා එල්ල වනවිට එම ඕනෑම අවස්ථාවක රටේ නායකයා ලෙස රණවිරු පරපුර වෙනුවෙන් ඉදිරිපත් වීමට තමන් සූදානම්. කොන්ද පණ ඇති නායකත්වය එයයි. රටේ ජාතික ආරක්‍ෂාවට ඉහළම තැනක් ලබාදී කටයුතු කරන අතර මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීමට ද ඉහළම ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. එම වගකීම අප ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට ලබා දෙනවා. පාසල් දූ දරුවන්ට වින කරන මත්කුඩු ව්‍යාපාරය තුරන් කිරීමේ පළමු පියවර ගම්පහ දිස්ත්‍රික්කයේ, මීගමුව ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට කටයුතු කරනවා“ යනුවෙන් ද පැවසීය. මෙම අවස්ථාවට ජෝන් අමරතුංග, සරත් ෆොන්සේකා, රන්ජන් රාමනායක යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 22:29

    Latest News