රට තුළ කිසිදු ත්‍රස්ත අවදානමක් නැහැ; ජනාධිපතිත ලේකම්

ඔක් 22, 2019

    රට තුළ මේ වන විට කිසිදු ආකාරයක හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවධානමක් මතුව නොමැති බවට, ආරක්‍ෂක අංශ අවධාරණය කර ඇතැයි, ජනාධිපති කාර්යාලය පවසයි.

    විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය දැනුම් දෙන්නේ ඒ සම්බන්ධව ඇතැම් පාර්ශ්ව ගෙන යන අසත්‍ය හා විකෘති කරන ලද කරුණු දැක්වීම් පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසයි. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව මීට අදාළ විශේෂ නිවේදනය නිකුත් කර තිබේ. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රාජ්‍ය ආයතන සහ ජාතික වැදගත්කමක් ඇති ස්ථානවල ආරක්‍ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ඉකුත් අප්‍රේල් 23 වැනි දින විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරිණ.

    ඉන් අනතුරුව එකී ආයතනවල ආරක්‍ෂාව තහවුරු කිරීමට අදාලව කරන ලද සාමාන්‍ය සිහි කැඳවීම් සහ උපදෙස් අඩංගු ලිපි ද නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම්වරයා කියා සිටින්නේ, ඇතැම් පාර්ශව අදාළ කරුණු සාවද්‍ය ආකාරයෙන් ගෙන හැර දක්වමින් වර්තමානයේ හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් පවතින බවට, අර්ථ නිරූපනය කරමින් ජනතාව අනවශ්‍ය ලෙස බියට පත්කරන ආකාරයේ ලිපි නිකුත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. රාජ්‍ය ආයතන ජාතික වැදගත්කමක් ඇති ආයතන සහ පොදු ජනතාවගේ ආරක්‍ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්‍ෂක අංශ සියලු පියවර ගෙන තිබේ. එම නිසා හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවධානමක් උද්ගතව ඇති බවට ගෙන යන අසත්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙස ජනාධිපති ලේකම්වරයා ජනතාවට දන්වා සිටී.

    Latest News