ගොවීන් යළි වී වගාවට

නොවැ 27, 2018

    පසුගිය කාලයේ ඉන්ධන සහ පෙහොර මිල ඉහළ යාම හේතුවෙන් වෙනත් වගාවන්ට යොමුව සිටි ගොවීන් මේ වනවිට යළි වී ගොවිතැන වෙත ප්‍රවේශ වෙමින් සිටී.

    අප වාර්තාකරුවන් පවසන්නේ, මේ තත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැකගත හැකි බවයි. නව රජය ඉන්ධන මිල ගණන් සහ පොහොර මිල ගණන් පහත හෙළිම මීට හේතුවයි. ඒ අනුව, සෙවනගල ගොවි ජනපදයේ ගොවීන් ද කුඹුරු අස්වැද්දීම ආරම්භ කර තිබේ. උක් වගාව හැරුණු විට, ඔවුන් පසුගිය කාලයේ කෙසෙල් වගාවට යොමුවී සිටී.

    ඇඹිලිපිටිය නගරයට කෙසෙල් සැපයෙන ප්‍රධාන ප්‍රදේශ වන්නේ, දණ්ඩුම, මොරකැටිය, කොවුල්ආර, හබරලුවැව, බරවා කුඹුක හා සෙවනගලයි. කුඹුරු වගා කළ ගොවීන් වැඩි වශයෙන් කෙසෙල් වගාවට යොමු වූයේ, තමන්ට මුහුණ පෑමට සිදුවූ ගැටලු රැසක් හේතුවෙන්. පසුගිය සමයේ පොහොර මිල ඉහළයාම, පොහොර හිඟ වීම, පොහොර මිලදී ගැනිමේ ගැටලු, වී අලෙවියේ දුෂ්කරතා සහ ඉන්ධන මිල ඉහළ යාම ප්‍රමුඛතම ගැටලු කිහිපයක්.

    එහෙත්, අද වනවිට එම තත්වය මුළුමනින්ම වෙනස් වී තිබේ. නව රජය පත්වීමත් සමඟ පොහොර සහ ඉන්ධන මිල පහත හෙළිමට පියවර ගනු ලැබීය. ඒ අනුව, සෙවනගල ගොවීන් යළි කුඹුරු බිම් අස්වැද්දවීම ආරම්භ කළ අතර, තමන්ට හුරු වී ගොවිතැනට නැවත නැඹුරුවීමට අවස්ථාව හිමිවීම ජිවිතය යළි හිමි වූවා හා සමාන බවයි, ඔවුන් පවසන්නේ.

    දැනට වී සඳහා ලබා දෙන යූරියා පොහොර මිටියක් රුපියල් 500 දක්වා ද අතුරු බෝග සඳහා ලබාදෙන යූරියා පොහොර හොන්ඩරයක මිල රුපියල් 1500 සිට 1000 දක්වා ද අඩු කෙරිණ. මිශ්‍ර පොහොර මිල රුපියල් 1100 දක්වා අඩු කර තිබේ. ගොවීන්ට අවශ්‍ය තරම් පොහොර තොග සැපයීමට ගොවිජන සේවා මධ්‍යස්ථාන සූදානමින් සිටී.

    අවශ්‍ය පහසුකම් මෙන්ම, නිසි කලට වර්ෂා ජලය ද ලැබීම හේතුවෙන් මෙවර වැඩි අස්වැන්නක් වෙළෙඳ පොළට සැපයීමට හැකි වනු ඇති බවයි ගොවීන් සඳහන් කරන්නේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News