පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව පිළිගැනීමට ඉල්ලීමක්

නොවැ 27, 2018

    ආණ්ඩු පක්‍ෂය, පාර්ලිමේන්තුවේ සභාවාරයට අදත් සහභාගි වූයේ නැහැ. ඒ, කථානායකවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින්.

    සභාවාරයට සහභාගිවීම සඳහා පක්‍ෂ-විපක්‍ෂ මන්ත්‍රීවරුන් අද උදේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටියා. කෙසේ වුවද, අද දිනයේ කටයුතු තීරණය කිරීම සඳහා කථානායකවරයා පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා නොතිබුණු අතර, දිනයට නියමිත න්‍යාය පත්‍රයක් මුද්‍රණය කර තිබුනත්, ඊට කිසිදු යෝජනාවක් ඇතුලත් කර තිබුණේ ද නැහැ.

    ඒ, අනුව ආණ්ඩු පක්‍ෂයේ රැස්වීමක් පාර්ලිමේන්තු සභාවාරයට පෙර ආරම්භ වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට සමගාමීව, එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමක් ද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වුණා.

    කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි නොවීමට ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් තීරණයකට එළඹුණා. ඒ, කථානායකවරයාගේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියා කලාපය සහ ස්ථාවර නියෝග දිගින් දිගටම උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට විරෝධය පළකරමින්. 

    අනතුරුව, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වූයේ පස්වරු 1.00ටයි.

    තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩුව පිළි නොගන්නා බවත්, විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගැනීම හේතුවෙන්, ආණ්ඩුව පිළි නොගන්නා බවත්, එක්සත් ජාතික පෙරමුණ දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණා. එහෙත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සභාව අමතමින් අද කළ ප්‍රකාශයකින් තහවුරු වූයේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ඔවුන් විසින් පිළිගෙන ඇති බවයි.

    නව ආණ්ඩුව පත්වී මාසයකට ආසන්න කාලයක් ගත වුවද, කිසිදු පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කටයුතු කර නොමැති බව, ඔහු එහිදී සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා කියා සිටියේ කථානායකවරයා ඔවුන්ගේ ගැලවුම්කාරයා බවයි. 

    ජනතා විමුක්ති පෙරමුණ, සභාවාරය ආරම්භයේදී එහි රැඳී සිටිය ද සුළු වේලාවකට පසු ඔවුන් සභා ගැබෙන් පිටව ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා, පසුව සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළ අතර, ඒ අනුව සභාව ලබන 29 වැනි දින උදේ 10.30 දක්වා කල් තැබුණා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News