මානසික රෝගවලට කුඩා අවධියේ ප්‍රතිකාර කළ යුතුයි; වෛද්‍ය චමරි මුදලිගේ

ඔක් 10, 2019

    වැඩිහිටි මානසික රෝගවලින් 50%ක්ම ආරම්භ වන්නේ ළමා කාලයේදී බව, මානසික රෝග විශේෂඥවෛද්‍ය චමරි මුදලිගේ මහත්මිය පැවසුවාය.

    කුඩා අවධියේම ඒ සඳහා ප්‍රතිකාර ලබා දෙන්නේ නම්, වැඩිහිටි අවධිය වනවිට එම ගැටලු නිරාකරණය කරගත හැකියි. ලෝක මානසික සෞඛ්‍ය දිනය අදය යෙදී තිබේ. “දිවිනසා ගැනීම් වළක්වා ගැනීම සහ ඒ සඳහා ප්‍රජාවගේ දායකත්වය“ මෙවර තේමාවයි. ලෝක මානසික සෞඛ්‍ය සැමරුම ආරම්භ කෙරුණේ, 1992 ඔක්තෝබර් 10 වැනිදා. ඒ, ජගත් සංවිධානයේ මූලිකත්වයෙන්. මානසික රෝගීන් පුනරුත්ථාපනයට කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල සාර්ථක වැඩපිළිවෙළක් 2013 වසරේ ආරම්භ කරනු ලැබීය. දෙණියාය, උරුබොක්ක ඇතුළු පර්යන්ත රෝහල්වල ද මීට අදාළ සායන පැවැත්වේ.

    මානසික රෝග විශේෂඥ වෛද්‍ය චමරි මුදලිගේ මහත්මිය...

    “ප්‍රතිකාර ක්‍රම මගින් රෝගියා සමාජයේ හොඳ තැනකට ගෙනියන්න උදව්වක්, රැකියාවක් ලබාදෙන තත්වයට පත් කරලා දෙනවා. එදිනෙදා ජීවිතය හැඩ ගස්සවා ගන්නවා. රෝගීන් ගෙදර ගියාට පස්සේ පසු විපරම් කරනවා. ඒ මනෝ සමාජයේ කණ්ඩායම බලනවා එයා ප්‍රතිකාර හරියට ගන්නවද? අපි දීපු ආධාරවලින් එයා හොඳින් වැඩ කරගෙන යනවද? තව ගැටලු තියෙනවම් ඒවටත් උදව් කරලා පුනරුත්ථාපන ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා“

    සෑම ගැටලුවක් සඳහාම මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවන අතර, ගැටලුවක් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට කිසිවෙකු මැලවිය යුතු නැහැ. දරුවන් ජංගම දුරකතනවලට අබ්බැහිවීම ද මානසික ගැටලු ඇතිවීමට හේතුවක් බවට හඳුනාගෙන තිබේ.

    මානසික රෝග විශේෂඥ වෛද්‍ය චමරි මුදලිගේ මහත්මිය....

    “ඉන්ටර්නෙට්වලට ළමයි මත්ද්‍රව්‍ය වගේ ඇබ්බැහිවෙලා. අවශ්‍ය දේවල් හොයාගන්න ළමයින්ට ඉන්ටර්නෙට් එක හරි දුරකතනය දුන්නට කමක් නැහැ. දෙමාපියන් දැනුවත් වෙන්න ඕනේ, දරුවන් දැනුවත් වෙන්න ඕනේ. බැරිම අවස්ථාවලදී අපි ප්‍රතිකාර ක්‍රම පටන් ගන්න අවස්ථා තිබෙනවා“.

    මේ අතර, ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ජාතික මානසික සෞඛ්‍ය සභාව සංවිධාන කළ වැඩසටහෙන්, බොරැල්ල කිතුල්වත්ත පාරේ එම මූලස්ථානයේ දී පැවැත්විණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 20:03

    Latest News