පවුල්වාදය බිඳ දැමූ නායකයෙක්ද, සියල්ල වනසන ටර්මිනේටර් කෙනෙක්ද රටට අවශ්‍ය..අගමැති

ඔක් 10, 2019

    එක්සත් ජාතික පක්ෂය පවුල්වාදය, කුලවාදය හා රඳලවාදය පිටුදකිමින් ජනතා මෙහෙවරක දිගුකාලීන නිරතවූ පක්ෂයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා සමාජය තුල මුල්බැසගෙන තිබූ රඳලවාදය සහ කුලවාදය පිටුදැකීමට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරියට පැමිණි ප්‍රමුඛතම නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැළියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂයේ සිටි සියළු නායකයින්ම මෙරට ආර්ථිකය ගොඩනැගීමට සුවිශේෂී කාර්ය භාරයක් සිදුකළ බව ඔහු කියා සිටියේය. විවෘත ආර්ථික ක්‍රමය මෙරටට හඳුන්වා දෙමින් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආයෝජන ප්‍රවර්ධන බිහිකරමින් නව රැකියා අවස්ථා බිහිකළ හා රටේ දිශානතිය වෙනස් කළ ප්‍රබල පක්ෂය බව ඔහු පෙන්වා දුනි. රණසිංහ ප්‍රේමදාස යුගයේ දී ශ්‍රි ලංකාවේ කර්මාන්තකරණයට ශක්තියක් ලබා දෙමින් ඇඟලුම් කර්මාන්ත 200ක වැඩසටහන, ජනසවිය, ගම්උදාව වැනි ජනතාවට කළ සේවාව වෙනුවෙන් මෙතරම් අද විරුද්ධ පක්ෂයේ සිටිමින් දේශපාලන බලය අල්ලා ගැනීමට සිටින පිරිස් පහරගසන්නේ ඇයිදැයි

    අග්‍රාමාත්‍යවරයා විමසා සිටියේය. තොරතුරු තාක්ෂණය අද නව ගමනක් ආරම්භ කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ මූලික අඩිතාලම ඔස්සේ බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය. වර්තමාන රජය කාර්මික නවෝදයක් වෙනුවෙන් අක්කර 10,000ක යෝධ කර්මාත්පුර ඇති කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කර අවසන් බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී ප්‍රකාශ කළේය. එම වැඩපිළිවෙළට විපක්ෂයේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විරුද්ධ වන්නේ ද නැද්ද යන්න ඔහු ප්‍රශ්න කළේය. සංචාරක කර්මාන්තය දෙගුණයකින් සංවර්ධනය කිරීමට රජය ගෙන ඇති වැඩසටහනට ගෝඨාභය රාජපක්ෂ මහතා විරුද්ධ වන්නේ ද නැද්ද යන්න පැණයට පිළිතුරු දිය යුතු යැයි ඔහු කියා සිටියේය.

    සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට වලව්වාදය බිද දැමීමට වසර 18ක් දේශපාලන මෙහෙවරක නිරත වෙමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. හම්බන්තොට වලව්වාදයෙන් දිළිඳු ජනතාවට නිවාස ඉදිකිරිම්, දහම් පාසල් අධ්‍යාපනය, ළදරු පාසල්, වෘත්තීය පුහුණු වැඩසටහන් පසුගිය දශක කිහිපය තුල බිහි නොවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා ඊට සාර්ථක පිළිතුරු දෙමින් ජන මෙහෙවරක නිරතව සිටින බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. හම්බන්තොට වලව්වාදයට අභියෝග කර දිළිඳු ජනයා වෙනුවෙන් මෙහෙවරක නිරත සජිත් ප්‍රේමදාස මහතා නොවැම්බර් 16 වැනිදා ඡන්දයේ දී රටේ ජනාධිපති ලෙස පත්කරවන ලෙස ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ඔහුගේ සහෝදරයෙකු විසින් හඳුන්වා දුන් ටර්මිනේටර් නැතහොත් විනාශකාරී පුද්ගලයා වෙනුවට රටේ යහපත වෙනුවෙන් වසර 18ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන කළ සජිත් ප්‍රේමදාස නොවැම්බර් 17 වැනිදා සිට රටේ ජනාධිපතිවරයා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 17:47

    Latest News