පොලිස් පොඩ්ඩන්ගේ ගැටලු විසඳිමට කමිටුවක්

නොවැ 26, 2018

    පොලිස් දෙපාර්තමේන්තුව අද තිබෙන තත්ත්වයට වඩා ඉහළ ප‍්‍රමිතියකින් යුත්, කාර්යක්ෂම, මහජන හිතකාමී සහ ප‍්‍රශස්ත සේවාවක් ලෙස ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සමග අද (26) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.

    පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට සියලූ නිලධාරින් රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව සියලූ දෙනාට ස්තූතිය පළ කළේය.

    වඩාත් ශක්තිමත් සහ ගුණාත්මක සේවාවක් ලෙස පොලිස් සේවාව පවත්වාගෙන යාමට සිදු විය යුතු ප‍්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් හා යෝජනා කිහිපයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි. පොලිස් දෙපාර්තමේන්තුවේ සියලූ දෙනාට තෘප්තිමත් මනසකින් රාජකාරී ඉටුකිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ක්ෂේත‍්‍රයේ සියලූ ගැටලූ සාකච්ඡා සහ සංවාද මගින් විසඳ ගැනීමට ඇති හැකියාව ද පැහැදිලි කළේය. එමෙන්ම පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරින්ගේ ගැටලූ සොයා බලා විසඳුම් පිරිනැමිමට නව කමිටුවක් පත් කිරීමට උපදෙස් පිරිනැමුවේය. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ජනාධිපති කාර්යාලයේ නිළධාරින්ගෙන් එම කමිටුව පත් කිරීමට ද උපදෙස් දෙනු ලැබීණ.

    නීති විරෝධි මත්ද්‍රව්‍ය මර්දනයට මෙතෙක් ගෙන ඇති ක්‍රියා මාර්ගවල ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණ. පසුගිය මාස තුන තුළ නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසත්, අද සිට මාස් පතා එම වාර්තාව තමා වෙත ලැබීමට සළස්වන ලෙසත් ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේය.

    අපරාධ, සංවිධානාත්මක අපරාධ සහ එම කණ්ඩායම් මර්දනයට ගෙන ඇති ක්‍රියා මාර්ගවල ප‍්‍රගතිය ද විමසා බැලූණු අතර, පාතාලය මර්දනය වෙනුවෙන් දැඞී තීන්දු සමග ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේය.

    අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 26 නොවැම්බර් 2018 20:10

    Latest News