දවසකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 8ක්, 9ක් සොයා ගැනේ (වීඩියෝ)

ඔක් 05, 2019

    සෑම කාන්තාවක්ම පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් වන්නේ නම්, පිළිකා තත්වයන් කල්තියා හඳුනාගත හැකි බව, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    මේ පිළිබඳව අවධාරණය කෙරුණේ, පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී. පියයුරු පිළිකාව හඳුනා ගැනීම, කාර්යක්‍ෂම රෝග නිර්ණය, ප්‍රතිකාර සහ රෝගීන් සඳහා වූ සේවා පිළිබඳව මේ මාසය තුළ දැනුවත් කෙරේ. මෙරට කාන්තාවන් අතර, බහුලව වාර්තාවන පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි. වසරකට නව පියයුරු පිළිකා රෝගීන් 3,000ත් 3,500ත් අතර වාර්තාවේ. එය සමස්ත පිළිකාවලින් 25%ක්. මූලික අවස්ථාවේදී ප්‍රතිකාර කිරීමෙන් පියයුරු සම්පූර්ණයෙන් ඉවත් නොකර සරල ශල්‍යකර්මයකින් සුව කිරීමේ හැකියාව පවතී. දිවයින පුරා පිහිටි සුවනාරි සායන සහ සුවදිවි මධ්‍යස්ථාන මගින් පිළිකා රෝග නිර්ණ පරීක්‍ෂාවන් සිදුකර ගත හැකිය.

    පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා
    “සෑම කාන්තාවන් අට දෙනෙක්ගෙන් එක්කෙනෙකුට සිය ජිවිත කාලය තුළදී පියයුරු පිළිකාවක් සෑදීමේ අවදානය තිබෙනවා. කාන්තාවන් ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ, දැනට සොයා ගෙන තියෙන පියයුරු පිළිකා රෝගීන්ගෙන් 1%ක් පිරිමි පාර්ශ්වය. ඒ ගොල්ලන්ගෙත් වැඩි අවදානමක් තියෙනවා. ඒගොල්ලන්ට හැදෙන්නේ දරුණු තත්වය වැඩි එක ඒගොල්ලන්ට හැදෙන්නේ. ඒ පණිවිඩයත් ගෙනියන්න ඕනේ. දවසකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 8ක්, 9ක් පමණ සොයා ගන්නවා. ඒ සෑම පිළිකාවකටම අවශ්‍ය ප්‍රතිකාර දැනට රජයේ රෝහල්වල නොමිලයේ සැපයෙනවා.

    වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා...
    “දැනට බහුලවම වාර්තා වන්නේ 45-49, 50-57 වයස් කාණ්ඩවල වුණාට අවුරුදු 20 සිටම පියයුරු පිළිකා රෝගීන් වාර්තා වෙනවා. පිළිකා කලින් හඳුනාගෙන, හඳුනාගත් රෝගීන් රෝහල් කරා නිශ්චිත ප්‍රතිකාර සඳහා යොමු කරන්න. ඔවුන්ට සුවය ලබාදෙන්න. ඒ පවුලේ සතුට, සමගිය, සැනසීම ඇතිකරගන්න එය විශාල පිටුවහලක් වෙනවා.

    පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධිනි කරුණාරත්න මහත්මිය....
    “ අවුරුදු 20-40 අතර වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා සුවනාරි සායනවල අවුරුදු තුනෙන් තුනට රෝග පරීක්‍ෂාවන් සිදුකරගන්න. අවුරුදු 40ට වැඩි කාන්තාවන්ට අවුරුද්දකට සැරයක් ඕනෑම රජයේ රෝහලක බාහිර රෝගී අංශයට ගියහම මෙය කරගන්න පුලුවන්. සුවනාරි සායනවලින් කරගන්න පුලුවන්. ලංකාවේ අපි වැඩිපුර රෝගීන්ට දෙන උපදෙස්“ යැයි ඔවුන් කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 20:13

    Latest News