ගෝඨාභය ආගමන විගමන හා මැතිවරණ නීති කැඩුවේ දැයි විමර්ශනයට අධිකරණ නියෝගයක්

සැප් 26, 2019

    2005 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඇමෙරිකානු පුරවැසියෙකු වශයෙන් සිටියදී සංචාරක වීසා මත මෙරටට පැමිණ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතා පුරවැසි පනත, ආගමන හා විගමන පනත සහ මැතිවරණ පනත උල්ලංඝනය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට ඒ අනුව සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආගමන සහ විගමන පාලකවරයාට සහ හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කළේය.

    රහස් පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය කළාය. රහස් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ මෙම පරීක්ෂණයට අදාළව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් බවයි.

    2005 වසරේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති අවධියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබෙන අතර ඊට අදාළ ලේඛන ලබාදෙන මෙන් ඉල්ලීම් කළත් ඒවා තමන් සතුව නොමැති බව එම නිලධාරීන් දැනුම් දී ඇති බවත් රහස් පොලිසිය අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

    ඒ අනුව විමර්ශන වලට අවශ්‍ය කරන අදාල ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙස ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට සහ හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කළාය. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරු විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

    රහස් පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තා මගින් සඳහන් කර තිබෙන්නේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ඇති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බව පැමිණිලිකරුවන් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි.

    ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය දිවිත්ව පුරවැසිභාවය අහෝසි කිරීමට අදාළව විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් කර නොමැති බවට පැමිණිලිකරුවන් සඳහන් කරන කාරණය පිළිබඳව ද විදේශ අමාත්‍යාංශය, ඇමරිකානු කොන්සල් කාර්යාලය යනාදී ආයතන වෙතින් තොරතුරු ලබා ගෙන තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද රහස් පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 17:50

    Latest News