යාපනයට යන්න බැහැ කිව් ගෝඨාභයට අධිකරණය දුන් තීන්දුව (වීඩියෝ)

සැප් 24, 2019

    මානව හිමිකම් ක්‍රියාකාරිකයින් වු ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීමේ සිද්ධියේ නඩුවට සාක්ෂි ලබාදීමට 27 වනදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පෙනී සිටීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සලකා බැලීමට අද කැඳවනු ලැබිණ.

    එහිදී විනිසුරු අචල වෙංගප්පුලි මහතා මෙම නඩු විභාගයට සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමෙන් පසු විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය විසින් කරුණු විභාග කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.

    ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෙබියස් කෝපුස් නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා තමාට මේ මස 27 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සමෙන් කියා සිටි. ආරක්ෂක හේතුන් මත තමාට එම අධිකරණයට ගොස් සාක්ෂි දීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව සඳහන් කරන ගෝඨාභය රාජපක්ෂ මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශයක පිහිටි අධිකරණයක සාක්ෂි දීම සඳහා තමන් සූදානම් බව සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

    මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරු විසින් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට සාක්ෂි දීම සඳහා මේ මස 27 වන දා පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අනතුරුව පෙත්සම දෙසැම්බර් මස 3 වනදා කැඳවීමට ද නියම කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 20:05

    Latest News