අලුත් ගමනක් ගැන ජනතාවට ඉදිරියේ දී බලාපොරොත්තු තැබිය හැකියි; අමාත්‍ය සජිත් (වීඩියෝ)

සැප් 14, 2019

    නව යුගයක් කරා පියනඟන ජවසම්පන්න අලුත් ගමනක් පිළිබඳව ජනතාවට ඉදිරියේදී බලාපොරොත්තු තැබිය හැකි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    පුත්තලම දිස්ත්‍රික්කයේ “සැමට සෙවණ යළි පිබිදෙන“ උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදි කෙරුණු 282 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පාලකයන් ජනතා බදු මුදලින් සුරසැප විඳින යුගය ඉදිරියේදී අවසන් කරන බවයි. 

    පුත්තලම නවගත්තේගම අමුණුවැව ඉදි කෙරුණු රන්මිනිපුර උදා ගම්මානය අංග සම්පුර්ණ පහසුකම් සහිත නිවාස 42කින් සමන්විතවේ. ඊට වැය කෙරුණු මුදල රුපියල් ලක්‍ෂ 525ක්. අද ගම්මානය ජනතා අයිතියට පත් කෙරුණේ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. ඊට සමගාමීව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා නිවාස ණය හා ආධාර ප්‍රදානය ඇතුළු සමාජ සුභසාධන කටයුතු රැසක් මෙහිදී සිදු කෙරිණ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් ඊට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා...

    “ජනතාවගේ බදු මුදල්වලින් නායකයෝ සුර සැප ලබපු කාලයක්. මම ඕගොල්ලන්ට පොරොන්දු වෙනවා අවසන් කරනවා කියලා. පොදු ජනතාව බලාපොරොත්තු වන ශ්‍රේෂ්ඨ සේවාවක්, පරිනත ජනතා සේවාවක්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටට නව දැක්මක් අවශ්‍යයි. අලුත් ආරම්භයක් අවශ්‍යයි. ජවසම්පන්න යුගයක් අවශ්‍යයි. අස්සයෝ වගේ වේගයෙන් ගිහිල්ලා අපේ සංවර්ධනය වේගය වර්ධනය කරන්න ඕනේ. මේ රටේ හැම ගම්මානයකම අපනයනය කේන්ද්‍ර කරගත් ආර්ථික මධ්‍යස්ථාන නිර්මාණය කරන්න ඕනේ. නව ලෝක ආර්ථික ප්‍රවණතා තියෙනවා. ප්‍රවණතාවලින් රටට සුදුසු ආකාරයට අලුත් වැඩපිළිවෙළක් සකස් කරන්නට අපි දැන් බුද්ධි මණ්ඩල නිර්මාණය කරනවා. අපේ ගමනින් පළමුවත්, දෙවනුවත්, තුන්වනුවත් අපේ මාතෘභූමිය, මාතෘභූමිය ගොඩනැගීම ශක්තිමත් කිරීම, සංවර්ධනය කිරීමට සියලු දෙනාම ලැහැස්ති වෙන්න. අලුත් ගමනක් යන්න නව දිසාවක් කරා, විශිෂ්ට ඉලක්ක කරා ගිහිල්ලා ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට ශ්‍රී ලංකාව බවට පත් කරන්න. ශ්‍රී ලංකා ෆස්ට් කියන වැඩසටහනේ කොටස්කරුවන් බවට පත්වෙලා තමුන්නාන්සේලා සජිත් ප්‍රේමදාසට දෙන්න පුලුවන් උපරිම හයිය ලබාදෙන්න කියා මම මේ අවස්ථාවේ කියා සිටිනවා“ යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 14 සැප්තැම්බර් 2019 20:10

    Latest News