උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්

සැප් 13, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙලෙහි පළමු අදියර වශයෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉඩම් නිදහස් කර ගැනීම සඳහා වූ පළමු හමුව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණ.

    උතුරු පළාතේ ආරක්ෂක අංශ විසින් භාවිතා කරනු ලබන පෞද්ගලික ඉඩම් නිශ්චිත වශයෙන් හඳුනා ගැනීම සඳහා ඒ ඒ අංශවලින් වෙනම කමිටු පත් කිරීමට ආණ්ඩුකාරවරයා විසින් එහිදි උපදෙස් ලබාදී තිබේ.

    උතුරේ ඉඩම් හිමි, එහෙත් මේ වනවිට විදෙස් ගතව සිටින ජනතාවට තම ඉඩම්වල අයිතිය තහවුරු කෙරෙන ලියකියවිලි ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුකාරවරයා විදෙස් ගතව සිටින ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

    ඊට අදාළ අයදුම්පත උතුරු පළාත් සභා වෙබ් අඩවිය වන np.gov.lk ලබා ගත හැකියි.

    ඒ අනුව කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ඉඩම් නිදහස් කර ගැනීමේ දෙවන හමුව ලබන එළැඹෙන 26 වැනි දින පත් කර ගන්නා ලද කමිටු නිළධාරීන් සමඟ පැවැත්වීමට නියමිතය.

    දෙවන අදියර වශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් නිදහස් කර ගැනීම වෙනුවෙන් වන සාකච්ජාව හමු එළැඹෙන 14 වැනි දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි පැවැත්වීමට නියමිත අතර, මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවල ඉඩම් තෙවන අදියර යටතේ නිදහස් කිරීමට කටයුතු යොදා තිබේ.

    ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ඉඩම් අමාත්‍යංශ නිලධාරීන්, මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු අදාළ අංශවල සියලුම නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා මහතා, චාල්ස් නිර්මලනාදන් මහතා, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය, ශිවඥානම් ශ්‍රී ධරන් මහතා ඇතුළු නියෝජිතයන් ඊයේ (12) පැවති මෙම සාකච්ජාවට සහභාගීවී සිටියේය.

    Latest News