විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය තවත් වර්ජනයකට සැරසේ

සැප් 03, 2019

    ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල තාක්ෂණික නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික කපිල දැරණියගල මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් අද (03) දඹුල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ අනතුරු ඇගවීම සිදු කළහ.

    ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල 15කට අයත් වෘත්තීය සමිති 25ක නියෝජිතයින් විසින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

    2016 වසරේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට රුපියල් දසදහසක වැටුප වැඩි වීමේ ක්‍රියාවලියේ වැටුප් විෂමතාවයක් පවතින බවත් අනෙකුත් රාජ්‍ය සේවකයන්ට හැර මෙම වැටුප් විෂමතාවය තම සේවකයන්ට පමණක් පවතින බව ඔවුන් පවසති. මේ පිළිබඳව 2016 වසරේ සිට බලධාරීන්ට දැනුවත් කළ ද මෙතෙක් අවධානය යොමු නොකරන හේතුවෙන් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි ඔවුන් පවසන්නේ.

    දහ වන දිනට පෙර තම අනධ්‍යන සේවක මණ්ඩලයේ වැටුප් විෂමතාවයට සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් විශ්වවිද්‍යාල පද්ධතිය ආශ්‍රිතව පවත්වාගෙන යන කර්මාන්ත කරුවන් වන නෙවාසිකාගාර ආපනශාලා ත්‍රිරෝද රථ ප්‍රවාහන ආදී සියලුම ජනතාව ඒකරාශී කරගෙන ලබන 10 වන දින මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයකට සූදානම් බව හෙතෙම සඳහන් කළේය.

    වැටුප් කොමිෂන් සභාව සූක්ෂම ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අර්බුදයක් ඇති කොට තිබෙන බවත් ඔවුන්, සිදුවන සෑම අලාභයක්ම විපාකයක්ම වගකීම භාරගත යුතු බවද විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ මාධ්‍ය ලේකම් කේ .එල් .ඩී. රිච්මන් මහතා පැවසීය. පුද්ගලික විශ්වවිද්‍යාල දියුණු කිරීම සඳහා ඉතා සැලසුම් සහගතව මේවා සිදු කරන බවද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

    Latest News