ලොව අනර්ඝතම ගෘහ භාණ්ඩ රාජ්‍ය දැව සංස්ථාවෙන්

සැප් 01, 2019

    ලොව අනර්ඝතම ගෘහ භාණ්ඩ රාජ්‍ය දැව සංස්ථාව නිෂ්පාදනය කරන බව, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ බූස්ස පිහිටි රාජ්‍ය දැව සංස්ථාවේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින්. බූස්ස රාජ්‍ය දැව සංස්ථාවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෙන එනු ලබන දැව කඳන් ගෘහ භාණ්ඩ දක්වා පරිවර්තනය කිරීම අදියර 5ක් යටතේ සිදු කෙරේ. විවිධ ප්‍රමාණවලට ඉරා ගන්නා එම දැව කඳන් පදම් කෙරේ. අනතුරුව, මෙම ලී රසායනික ප්‍රතිකාර ක්‍රමයකට භාජනය කරන්නේ, ජීවින්ගෙන් ආරක්‍ෂා කර ගැනීමටයි. එසේ සකස් කරගන්නා ලී බූස්ස රාජ්‍ය දැව සංස්ථාව තුළ ද ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගැනේ. එහිදී, ගෘහ භාණ්ඩ ප්‍රති නිර්මාණය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි. ඒ පාරම්පරික ගෘහ භාණ්ඩ නිර්මාණ ශිල්පීන්ගේ දැනුම උපයෝගි කරගනිමින්.

    මෙහි තවත් සුවිශේෂ ක්‍රියාවලියක් වන්නේ, ඉවත දමන ලී කැබලි ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගැනීමයි. ෆින්ගල් ජොයින්ට් නමැති එම ක්‍රමය භාවිත කරමින්, ගෘහ භාණ්ඩ නිපදවන එකම දැව සංස්ථා ශාඛාව බූස්ස පිහිටි මෙම රාජ්‍ය දැව සංස්ථාව වීම විශේෂත්වයක්. ජනතාවට ප්‍රමිතියෙන්, කල්පැවැත්මෙන් යුතු වටිනා ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාවද මෙමගින් උදාවේ.

    Latest News