එන්ට්‍රස්ට් මුල්‍ය සමාගමට එරෙහි නඩුව ඔක්තෝබර් 29ට කල් යයි

අගෝ 27, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියක් නොමැතිව මූල්‍ය සමාගමක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 29 වන දා යළි කැඳවේ.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබිණි.

    එහිදී විත්තියේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් කියා සිටියේ මෙම නඩුවට අදාළව සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන ගොනු පරික්ෂා කිරීමට තමන්ට අවශ්‍ය බවයි.

    ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ එම සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන අතර ඉදිරි පරීක්ෂණවලට අවශ්‍ය සංවේදී ලේඛන ද ඇතුලත්ව තිබෙන හෙයින් ඒවා නොමැතිව සෙසු ලේඛණ පරික්ෂා කිරීම සම්බන්ධයෙන් සිය විරුද්ධත්වයක් නොමැති බව දන්වා ඇත.

    ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛණ පරික්ෂා කිරීමට ඉඩදෙන මෙන් පැමිණිල්ලට දැනුම්දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත ඔක්තෝබර් මස 29 වනදා කැඳවීමට නියම කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියක් නොමැතිව එන්ට්‍රස්ට් නැමති මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම තුළින් බැංකු පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් චානුක රත්වත්තේ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News