මැලේසියාවේ දී ආබාධිතයෙකු වු සුබ්‍රමනියම් නිමලසිරි

අගෝ 26, 2019

    මැලේසියාවේ රැකියාවක් සදහා ගොස් එහිදී සිදුවූ අනතුරක් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ශ්‍රමිකයෙකු කාර්යාංශයේ මැදිහත්වීම මත පසුගියදා (23) දිවයිනට ගෙන්වා ගැනිණ.

    පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එක් දරු පියෙකු වන සුබ්‍රමනියම් නිමල්සිරි මහතා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා 2017 වසරේදී ගෘහස්ථ නොවන පිරිසිදුකරන්නෙකු වශයෙන් රැකියාව සදහා මැලේසියාව බලා පිටත්ව ගොස් තිබේ. එහිදී ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍රයක් පිළිසකර කරමින් සිටිය දී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්විය.

    නිමල්සිරි මහතා 2019 වසරේ ජූලි මස 09 වැනි දින සිට මාසයකට අධික කාලයක් මැලේසියාවේ Tengku Ampuan Rahimah රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා තිබේ. මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන්ගේ දැඩි කැපවීම මත ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී දිවයිනට ගෙන්වා ගැනීමට හැකි විය.

    අකර්මන්‍ය රෝගියෙකු සදහා දෙනු ලබන විශේෂ පහසුකම් සහිතව නිමල්සිරි මහතා දිවයිනට ගෙන්වා ගැනීමට කාර්යාංශය කටයුතු කර තිබේ. ඔහුගේ සහය සදහා විශේෂ වෛද්‍යවරයෙකුද ඔහු සමඟ මෙරටට පැමිණ ඇති අතර, ඔහුගේ ප්‍රතිකාර හා දිවයිනට ගෙන්වා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ට ආසන්න මුදලක් කාර්යාංශය විසින් වැය කර ඇත.

    දිවයිනට ගෙන්වා ගැනීමෙන් අනතරුව කාර්යාංශයේ කටුනායක සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මගින් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කෙරිණ.

     

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 12:59

    Latest News