තිරසර සංවර්ධනය හා බැඳුණු ඉදිකිරීම් ක්ෂේත්‍රයක් අවශ්‍යයයි - ජනපති (වීඩියෝ)

අගෝ 23, 2019

    තිරසර සංවර්ධනය හා බැඳුණු ඉදිකිරීම් ක්ෂේත්‍රයක අවශ්‍යතාවය ප්‍රමුඛ වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ “කන්ස්ට්‍රක්ට් 2019” ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (23) පෙරවරුවේ එක් වෙමිනි.

    ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය විසින් 19වන වරටත් සංවිධානය කළ ප්‍රදර්ශනය අගෝස්තු 23,24 හා 25 යන දිනවල දී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දි පැවැත් වේ.

    මෙහි සමාරම්භක අවස්ථාව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පරිසර සංරක්ෂණයේ දී සංවර්ධනය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය කොතෙක් දුරට බලපෑම් සිදුකරනවා ද යන්න පසුගිය යුගයේ සියලුදෙනා අමතක කර තිබූ බවයි.

    ඒ පිළිබද විද්වතුන්ගේ විශේෂඥයන්ගේ සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් අවධානය යොමුවීමට පටන් ගත්තේ ගත වූ වසර කිහිපය තුළ බව පැවසූ ජනාධිපතිතුමා පරිසර සංරක්ෂණයේ වගකීම කිසිවෙකු අතපසු නොකළ යුතු බව ද අවධාරණය කළේය.

    මහාමාර්ග මෙන්ම මහා පරිමාණ ගොඩනැගිලි ඉදිකිරීමේ දී රටේ ජනගහනය, සංවර්ධන පසුබිම, භුමියේ ප්‍රමාණය යන කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙරට සිදු කෙරෙන ඕනෑම ඉදිකිරීමක් පරිසරයට, සම්ප්‍රදායට, සංස්කෘතියට හා අනන්‍යතාවයට අදාළ වාස්තු විද්‍යානුකූලව ගොඩනැගීමට වගබලා ගැනීමේ වැදගත්කම ද පැහැදිලි කළේය.

    එහිදී බලශක්ති කාර්යක්ෂමතාවය, තිරසර භූමි සැලසුම්කරණය හා කළමනාකරණය, අමුද්‍රව්‍ය හා සම්පත් කළමනාකරණය, ගොඩනැගිලි පරිශ්‍ර තුළ පරිසරයේ ගුණාත්මකභාවය, ජල කළමනාකරණය, හරිත නව්‍යකරණය මෙන්ම සමාජීය හා සංස්කෘතිකමය අනුකූලතාවය කෙරෙහි ප්‍රබල අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතා මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු හා ප්‍රශ්න විසඳාගැනීමට රජයක් ලෙස ලබාදිය හැකි උපරිම මැදිහත්වීම සිදුකරන බව ද සඳහන් කළේය.

    දකුණු ආසියාවේ ප්‍රකට කීර්තිනාමයක් අත්කර ගෙන තිබෙන “කන්ස්ට්‍රක්ට් 2019” ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනය මෙවර දෙස් විදෙස් වෙළෙඳ කුටි 250ට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ. ඉදිකිරීම්, ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය, වාස්තු විද්‍යාත්මක හා තොරතුරු තාක්ෂණික වශයෙන් විවිධ පැතිකඩ ඔස්සේ ප්‍රදර්ශන කුටි පැවැත් වේ.

    ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාව ද නිරත වෙමින් කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහක නිරත විය.

    අමාත්‍ය පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි, කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක, ආසියානු සහ බටහිර පැසිෆික් ඉදිකිරීම් සංගමයේ සභාපති මොහොමඩ් අලි, ඇලුමෙක්ස් PLC කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවල යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    “කන්ස්ට‍්‍රක්ට් – 2019” ජාත්‍යන්තර ඉදිකිරීම් ප‍්‍රදර්ශනය විවෘත කරමින් අදහස් දැක්වූ ජනාධිපතිතුමා.....

    “ශ‍්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය විසින් 19වන වරටත් සංවිධානය කළ මෙම ප‍්‍රදර්ශනයට එක්වීමට ලැබීම ගැන මා සතුටු වෙනවා.”

    “අඛණ්ඩ ව වසර 19ක කාලයක් ඉදිකිරීම් සංගමය පෙන් වූ දක්ෂතාවයන් මේ ප‍්‍රදර්ශනය තුළත් පෙන්නුම් කරනවා. ඒ වගේ ම විදේශීය ඉදිකිරීම් ක්ෂේත‍්‍රවල විවිධ ආයතන සම්බන්ධ කර ගැනීම මම දකින්නේ දේශීය ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට දෙන විශාල ශක්තියක් ලෙසයි. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සෑම කෙනෙකුට ම ජාත්‍යන්තර වශයෙන් නව තාක්ෂණය සමග බද්ධවීමෙන් එක් පැත්තකින් සුහදතාවය ගොඩනගා ගැනීම, අනෙක් පැත්තෙන් නව පර්යේෂණ සහ සොයා ගැනීම් පිළිබඳ අත්දැකීම් ලබන්නට ඒවා අධ්‍යයනය කරන්නට මෙයින් අවස්ථාවක් ලැබෙනවා.”

    “වසර දහස් ගණනක ඉතිහාසයේ ඉදිකිරීම් පිළිබඳව අපේ රට කර තිබෙන ඇතැම් නිර්මාණ තවමත් ලෝකයේ තවත් කෙනෙකුට මේ යුගය තුළ කළ නොහැකි දේවල්. අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය වැනි යුගවලදී ඉදිකිරීම් ක්ෂේත‍්‍රය පෙන්නුම් කර තිබෙන දක්ෂතාවයන් අද තාක්ෂණික ලෝකයත් සමග එක් කළ විට ඇතැම් ඉදිකිරීම් නිර්මාණය කිරීම පිළිබඳව සොයා ගැනීමට නොහැකිව තිබෙනවා.”

    “ඒ නිසා ශ‍්‍රී ලාංකික ඉදිකිරීම් කලාව ඓතිහාසික වටිනාකම් සමග මුසුවයි ගොඩනැගී තිබෙන්නේ. ලෝකයේ නව සංවර්ධනය ක‍්‍රමෝපායන් සංවර්ධන සැලසුම් ගැන කතා කරන විට තිරසර සංවර්ධනයට බද්ධ වූ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයක අවශ්‍යතාවය ප‍්‍රමුඛයි. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ මීට වසර 25කට 30කට පෙර ලෝකයේ දේශපාලනඥයින්ට විද්‍යාඥයින්ට අමතක වෙලා තිබුණු දෙයක් තමයි ඉදිකිරීම් පරිසර සංරක්ෂණයට කොතෙක් දුරට බලපානවාද කියල කාරණය.”

    “ගත වූ වසර 25ක 30ක කාලය තුළ තමයි විද්වතුන්ගේ විශේෂඥයින්ගේ විවිධ ක්ෂේත‍්‍රවල ප‍්‍රමුඛයින්ගේ අවධානය යොමු වුණේ, ඉදිකිරීම් පරිසර සංරක්ෂණයට කොතෙක් දුරට බලපානවාද කියල කාරණය. කුඩා භූමියක තිබෙන ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමේ වගකීම ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ලෝකයේ රටවල මහා විශාල නගරවල කරන සැලසුම් පිළිබඳව අපේ රටේ ජනතාව සිහින දැක්කත් අපේ රටේ භූමියේ ප‍්‍රමාණය මහා නගර සැලසුම් කිරීමේ දී සැලකිල්ලට ගැනීමට සිදුවී තිබෙනවා. ඒ නිසා මාර්ග ඉදිකිරීම් වගේම මහා පරිමාණ ගොඩනැගිලි ඉදිකිරීමේ දී අපේ ජනගහනය, සංවර්ධනයේ පසුබිම්, භූමියේ තත්ත්වය ආදිය සැලකිල්ලට ගත යුතු වෙනවා.”

    “ලංකාව තුළ ගොඩනැගෙන ඕනෑම ඉදිකිරීමක් පරිසරයට, සම්ප‍්‍රදායට, අනන්‍යතාවයට අදාළ ව වාස්තු විද්‍යානුකූලව ගොඩනැගීමට වග බලා ගැනීම ඉතා වැදගත්. එය මට වඩා ඔබ පිළිගන්නවා. එහි දී බලශක්ති කාර්යක්ෂමතාවය, තිරසර භූමි සැලසුම්කරණය හා කලමනාකරණය, අමුද්‍රව්‍ය හා සම්පත් කලමනාකරණය, පරිසරයේ ගුණාත්මකභාවය, ජල කලමනාකරණය, හරිත නව්‍යකරණය, සමාජීය හා සංස්කෘතික අනුකූලතාවයන් කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය වෙනවා.”

    “ඒ නිසා මේ කියන කරුණුවල දී අපි සැලකිලිමත් විය යුත්තේ අද ලෝකය පුරාම ඇතිවී තිබෙන කාලගුණික දේශගුණික තත්ත්වයන්, ආර්ථික ප‍්‍රවණතා කෙරෙහි ය. ඒ නිසා අපි අපේ රටේ දේශීය ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තිබෙන තරගකාරීත්වය හා ප‍්‍රමිතීන්වල තිබෙන දක්ෂතා අපි ඇගයිය යුතු වෙනවා. මා දන්නා පරිදි අපේ රටේ පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා ප‍්‍රමිතියෙන් සහ තත්ත්වයෙන් ඉදිරියට ගිහින් තියෙනවා. අපේ සීසීබී ආයතනය හැර රාජ්‍ය අංශයේ අනෙක් ආයතනවලට ඉදිකිරීම් කටයුතු දුන්නොත් වසරකින් බලාපොරොත්තු වන දේ වසර 10කින් වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු ඇතැම් සංවර්ධන වැඩ කටයුතු කලට වේලාවට කර ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න රාජ්‍ය අංශයේ තිබෙනවා. ඒ නිසා රාජ්‍ය අංශයේ කටයුතුවල දී පවතින ආර්ථික තත්ත්වයන්, රටේ සංවර්ධන ඉලක්ක පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා අවශ්‍යයි.”

    “අද මහා පරිමාණ, මධ්‍ය පරිමාණ ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුළ දකින දක්ෂතාවයන් අපි ඉතාමත් අගය කරනවා. මේ ක්ෂේත‍්‍රයට බලපාන විවිධ ගැටලු සහ ප‍්‍රශ්න අපි බොහෝ අවස්ථාවල සාකච්ඡා කර තිබෙනවා. සංවිධාන වශයෙන්, ආයතනික වශයෙන් අපි සාකච්ඡා කර තිබෙනවා. නමුත් නව ලෝකයත් සමග සංවර්ධනයේ ඉදිරියට යාමේ දී ඇතිවන බාධා එක්වර නිමා කරන්න බැහැ. ඇතැම් ගැටලු සහ ප‍්‍රශ්න විසඳන විට ඇතැම් ඒවා අලුතින් ඇති වෙනවා. සැමවිටම තම තමන්ට බලපාන්නා වූ ගැටලු නිරාකරණය කරමින් මේ ක්ෂේත‍්‍රය ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම අවශ්‍යයි. ඒ නිසා අපි ඕනෑම අවස්ථාවක රජය පැත්තෙන් දිය යුතු සහයෝගය ලබාදීමට කටයුතු කරන බව කියන්නට ඕනෑ.”

    “ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට තිබෙන ගැටලු වැඩියි. රජයේ තිබෙන මැදිහත්වීම් සහ ඇතැම් වෙලාවට ඇතැම් දේශපාලනඥයින් විසින් ගන්නා වූ වැරදි තීන්දු තීරණ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණයෙන් කටයුතු කරන අයට අයහපත් බලපෑම් ඇතිකරන බව අපි දන්නවා. ඒවා බොහෝ වේලාවට ප‍්‍රතිපත්තිමය කරුණු නෙවෙයි. යම් යම් පුද්ගලානුබද්ධව කෙරෙන කරුණු. ඒ නිසා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා රජය විදියට ඔබ සමග සාකච්ඡා කරලා ඒ ගැටලු විසඳීමට අපි සූදානම්.” යැයි ජනධිපතිතුමා අදහස් පළ කළේය.

    Last modified on සිකුරාදා, 23 අගෝස්තු 2019 20:06

    Latest News