ඇවන්ගාඩ් නඩු විභාගයට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලක් ඉල්ලයි

අගෝ 21, 2019

    ගාලු වරායේ ආසන්න මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන්ව ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු 13 දෙනකුට එරෙහිව නඩුව ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලකින් විභාග කිරීමට, විනිසුරුවරුන් නම් කරන ලෙස නීතිපති විසින් අගවිනිසුරු වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

    නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම ඉල්ලීම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කර සිටියේ මෙම විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව චෝදනා 7573 ක් යටතේ නඩු පැවරීමට නියමිත බවයි.

    2014 වසරේ අප්‍රේල් මස 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 6 වන දා දක්වා කාලසීමාව තුළ හික්කඩුව ආසන්න මුහුදේ එම්. වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂ නවසිය තිස් පහක් තබාගැනීම තුළින් විත්තිකරුවන් වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කිරීමට නියමිතයි.

    නෞකාවේ ගබඩාකර තිබූ මෙම ගිනි අවි සහ පතොරම්වලින් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය හිමිව ඇත්තේ අවි තුනක් හා පතොරොම් දෙදහසකට පමණක් බව නීතිපති සිය ලිඛිත ප්‍රකාශයක් මගින් පෙන්වා දී තිබේ. ඒ සඳහා ද 2015 සැප්තැම්බර් මස 23 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර පත්‍රයක් නිකුත්කර තිබූ බව ද එහි සඳහන්.

    ඒ අනූව, සැප්තැම්බර් මස 21 වැනිදා රතු මුහුද ආශ්‍රිත මුහුද ප්‍රදේශයේ දී නැව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔක්තෝම්බර් 6 වැනිදා හික්කඩුව මුහුදු ප්‍රදේශය දක්වා නාවික හමුදාව විසින් නැව රැගෙන ඒම දක්වා අවි ආයුධ ප්‍රවාහනයට හා ගබඩාකර තැබීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියක් හෝ නිසි බලපත්‍රයක් නොතිබූ බව ද නීතිපති සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙයි.

    විත්තිකරුවන් විසින් සංවිධානාත්මක ආකාරයෙන් සිදුකළ මෙම අපරාධ ක්‍රියාව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි කැලඹීමකට තුඩු දී තිබූ හෙයින් මෙම නඩුව ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට සුදුසු බවට නීතිපතිවරයා තීන්දු කර තිබේ.

    Last modified on බදාදා, 21 අගෝස්තු 2019 17:28

    Latest News