වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට නව ගොඩනැඟිල්ලක් (වීඩියෝ)

අගෝ 21, 2019

    වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නව අධ්‍යයන කේන්ද්‍ර ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (21) පෙරවරුවේ විවෘත කෙරිණි.

    මෙම නව ගොඩනැගිල්ල කොළඹ 08, කොටා පාර, රොඩ්නි වීදියේ ඉදිකර ඇත. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල, හමුදා සහ පෞද්ගලික අංශයේ සේවයේ නිරත වෛද්‍යවරුන්ට විශේෂඥ පුහුණුව ලබා දෙන මෙරට ඇති එකම විධිමත් ආයතනය වේ. විදෙස් පුහුණුවීම් මත නොරැඳී මෙරටට අනන්‍ය වූ විශේෂඥ පුහුණු වැඩසටහන් ඉහළ නැංවීමේ අරමුණින් 1980දී මෙම ආයතනය ආරම්භ කර ඇත. දැනට ශ්‍රී ලංකාවේ සේවයේ නිරත සියලු විශේෂඥ වෛද්‍යවරු මෙම ආයතනය හා සම්බන්ධව සිටිති. ආයතනයේ පහසුකම් සංවර්ධනය සඳහා රජය රුපියල් බිලියන 2.5ක් වෙන් කර තිබෙන අතර, මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 1.6කි.

    සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. අමාත්‍ය රවුෆ් හකීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහොන් ද සිල්වා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මාහාචාර්ය ජානක ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 21 අගෝස්තු 2019 21:38

    Latest News