දේවහුවේ ජලය සිඳී, ධීවරයින් සහ ගොවීන් දැඩි අර්බුදයක

අගෝ 20, 2019

    දේවහුව ජලාශයේ ජලය නොමැතිවීම හේතුවෙන් දිනපතා විශාල ලෙස මත්ස්‍යයන් මිය යන බව වාර්තාවේ.

    එමනිසා වැවේ ඉතිරි වී ඇති මසුන් මැරීම තාවකාලිකව නවත්වන ලෙස ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් ධීවරයන් දැනුවත් කර ඇත.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා අද(20) දින කළ මෙම දැනුවත් කිරීමත් සමග දේවහූව ජලාශයේ මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව අප වාර්තාකරු සඳහන් කරයි. දේවහූව ජලාශයට ජලය ලබාදී තම ධීවර රැකියාව සුරක්ෂිත කර දෙනමෙන් එම ධීවරයෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගෙන් ඉල්ලීමක් කර සිටිති.

    දේවහුව ජලාශය පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව ගලේවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා විසින් එම කලාප භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා යවා ඒ පිළිබඳ පරීක්ෂා කර තිබේ. ඒ නිරීක්ෂණ අනුව විශාල වශයෙන් ජලය සිඳී යාම හේතුවෙන් මසුන් මිය ගොස් තැන තැන ගොඩ ගසා ඇති නිසා එම මසුන්ගේ අවශේෂ කොටස් ජලයට සේදී යාමෙන් ජලයේ සිටින මසුන්ට එකතු වීමේ අවදානමක් පවතින බව වාර්තා කර ඇත. ඒ අනුව තාවකාලිකව මසුන් මැරීම නවතා වාරිමාර්ග නිලධාරීන් සමග සාකච්ඡා කොට වැවට අවශ්‍ය ජල ලබා ගැනීමෙන් පසුව ධීවර කටයුතු සිදු කරන ලෙස ධීවර ජනතාව ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    දේවහූව ජලාශයේ මිරිදිය ධීවර කර්මාන්තය කරගෙන යන ධීවරයන් කියා සිටියේ එම ජලාශය නියඟය නිසා සිඳී නොගිය බවයි. ඔවුන් පවසන්නේ එම ජලාශයේ වාන් දොරටුව කැඩී ගියපසු අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් ජලය සියල්ල නිරපරාදේ අපතේ යෑම නිසා මෙම අපරාධය සිදුව තිබෙන බවයි.

    දේවහුව ජලාශයට රජයේ මුදල් ප්‍රතිපාදන යොදවා අති විශාල මත්ස්‍ය පැටව් ප්‍රමාණයක් මුදා හැර තිබෙන අතර ජලය ලබා නොදුනහොත් ඉදිරියේදී ගොවියා මෙන්ම ධීවරයා ද දැඩි අසීරුතාවයකට පත් වන බව අප වාර්තාකරු සඳහන් කරයි.

    මේ වන විට ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් අඩු වී ඉතා කුඩා ජල ප්‍රමාණයක් පමණක් පවතියි. හැකි ඉක්මනින් දේවහුව ජලාශයට වෑමැඩිල්ල ජලාශය හරහා ජලය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධවද ධීවරයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සාකච්ඡා කර තිබේ.

    දේවහූව ජලාශයේ කැඩීගිය සොරොව්ව පිළිසකර කිරීමේ කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මේ දිනවල සිදුකරමින් පවතී. එතෙක් වැලිකොට්ට ආධාරයෙන් හෝ වැවේ ජලය රඳවා ගැනීමට අවැසි බව ධීවරයෝ පවසති. එහෙත් ගොවීන් කියා සිටින්නේ ධීවර කටයුතුවලට නොව ගොවිතැන්වලට දැනට පවතින ජල ප්‍රමාණය ලබාදෙන ලෙසය.

    ඒ අනුව මෙම ජල ගැටළුව නිසා රජයේ නිලධාරීන්, ධීවරයන් හා ගොවීන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති.

    Latest News