තමන්ට පැවරෙන වගකීම කැපවීමෙන් රටට ඉටු කරන්න; කාදිනල් හිමිපාණෝ (වීඩියෝ)

අගෝ 17, 2019

    ජනතාවගේ විශ්වාසය දිනාගැනීම, රටේ නීතිය ක්‍රියාවට නංවන ආයතනවල වගකීමක් බව, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    උන්වහන්සේ අවධාරණය කරන්නේ, මෙම ආයතන කිසිදු පාර්ශවයකගේ බලපෑම්වලට යටත් නොවිය යුතු බවයි. කාදිනල් හිමිපාණන් මේ අදහස් පළ කළේ, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් සම්පාදිත ග්‍රන්ථ ත්‍රිත්වය එළිදැක්වීමේ උත්සවයට පසුගියදා එක්වෙමින්. තම වෘත්තීය දිවිය තුළ ලැබූ අත්දැකීම් හා සත්‍ය කතා ඇසුරින් ග්‍රන්ථ රචනා කර තිබේ. මේ ඒ කතා, රටම ගිනියම් කළ පාතාල අපරාධ, රජරට හෙල්ලූ කලු අධිරාජ්‍යයේ කතාව නව ග්‍රන්ථ ත්‍රිත්වයයි. එය ප්‍රථම යෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබීය. අනතුරුව හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහාත ඇතුළු ආරාධිතයන් කිහිප දෙනෙකු වෙත පොත් පිළිගැන්වීම සිදු කෙරිණ. මෙහිදී උත්සව සභාව ඇමතූ මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්.

    “සමාජය තුළ යම් කිසි ප්‍රතිපත්තියක් නැති යම්කිසි සාරධර්මයක් අනුව කටයුතු කරන්නේ නැති පරිසරයක් අද උදාවෙලා තියෙනවා. මේ පරිසරය තුළ අපරාධ වැඩිවෙලා තියෙනවා. අපට අවශ්‍යයි ඒ සමාජය දිහා බලලා හොඳ විපරමක් කරලා මේ අපරාධ වැඩිවීම ගැන අවධානය යොමු කරලා මේක පිරිසිදු කරන්නට හැමෝම තමන්ගේ කටයුතු තමන්ට පැවරෙන වගකීම පිරිසිදුව කැපවීමෙන් යුතුව රටට තියෙන ලොකු ආදරයකින් ඉටුකරන්නට කැපවීම. සල්ලි බලාපොරොත්තුවෙන් එහෙම නැත්නම්, දේශපාලන බලය බලාපොරොත්තුවෙන් කටයුතු කිරීම නෙමෙයි රට හදන්න පුලුවන් වෙන්නේ. අද රටේ තියෙන වාතාවරණය තුළ මනුෂ්‍ය සමාජයේ විශ්වාසය දිනාගැනීමේ වගකීම මේ නීති ක්‍රියාවට නැංවීමේ ආයතන මත පැවරෙනවා ඉතාමත් තදින්ම. කිසිම බලපෑමකට හිස නමන්නේ නැතුව කටයුතු කරන්න ඕන කියන එක තමයි පොලිසියේ මහත්වරුන්ටත්, ආරක්‍ෂක අංශවල මහත්වරුන්ටත්, ඒ වගේම අනෙකුත් විශේෂයෙන් අධිකරණය සතුව කටයුතු කරන හැම කෙනාටත් පැවරෙන වගකීම වන්නේ කාටවත් බය නොවී ජනතාව වෙත සාධාරණය ඉටුකිරීම සඳහා ධෛර්යවන්තව කටයුතු කිරීම“ යැයි කාදිනල් හිමිපාණෝ පැවසීය.

    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2019 20:04

    Latest News