ටියුෂන් ගුරු පහසුවට විෂය නිර්දේශ වෙනස්කම් බෑ.. ඇමති අකිල

අගෝ 06, 2019

    ටියුෂන් සඳහා හෝ ටියුෂන් ගුරුවරුන් ට ඉගැන්වීමට පහසු වන පරිදි විෂය නිර්දේශ වෙනස් කළ නොහැකි බවත්, ජීව විද්‍යාව විෂය සම්බන්ධ ගැටලුව නිරාකරණය කර තිබෙන බවත්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) ප්‍රකාශ කළේය.

     ජීව විද්‍යාව විෂය නිර්දේශය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙහි සඳහන් වූ කරුණු අසත්‍ය හා පදනම් විරහිත බව ද අමාත්‍යවරයා පැවසුවේය.

     2019 වසරේ සිට ජීව විද්‍යාව විෂය ධාරාවෙන් අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ට 2017 වසරේ සිට නව විෂය නිර්දේශය හඳුන්වා දී ඇති බවත්, එහි පිටපත් සිංහල, දෙමළ හා ඉංග්‍රිසි භාෂා තුනෙන් ම ලබා දී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, විෂය ධාරා නවීකරණය කිරීමට ඇතැම් ගුරුවරු අකමැත්ත ප්‍රකාශ කරන බවත්, කාලීනව ගැලපෙන ආකාරයට විෂය ධාරා සංශෝධනය කර නවීකරණය කරන බවත් සඳහන් කළේය.

     ජීව විද්‍යාව ගැටලු සම්බන්ධයෙන් මාස ගණනකට පෙර ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, එහි ශාස්ත්‍රීය සභාවේ සභාපතිවරයා, විෂය නිර්දේශ සකස් කරන විද්වතුන්, විභාග කොමසාරිස් ජනරාල්, අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය භාර අධ්‍යක්ෂවරු කැඳවා සාකච්ඡාවක් පවත්වන ලද බව ද එහිදී ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලද බව ද පැවසූ අමාත්‍යවරයා, විෂය නිර්දේශය වෙනස් කරනවාට සමහර ගුරුවරුන් කැමති නැහැ. නවින ලෝකයේ දැනුම ඉක්මනින් වෙනස් වෙනවා. දැනුම දෙගුණයක් වීමට ගත වන්නේ මාස 13 ක් පමණයි “ යනුවෙන් ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

     නව විෂය නිර්දේශය සඳහා ගුරු පුහුණුව  හා ගුරු මාර්ගෝපදේශ ලබා දී නැති පාසල්වල නම් ලබා දුනහොත් ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 10:09

    Latest News