සාෆිගේ පෙත්සම සැප්.27ට කල්යයි

අගෝ 06, 2019

    රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී බවට තීන්දු කරන මෙන් ඉල්ලා දැනට ඇප මත මුදාහැර සිටින කුරුණෑගල රජයේ රෝහලේ වෛද්‍ය සාෆි සිහාබ්දීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 27 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    මෙම පෙත්සම අද සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සංශෝධනය කිරීම සඳහා දිනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව පෙත්සම සංශෝධනය කිරීම සඳහා අවසර ලබාදුන් අතර එය සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 27 වන දා කැඳවන මෙන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කළේය.

    පෙත්සම්කාර වෛද්‍ය සාෆි සිහාබ්දීන් මහතා සිය පෙත්සමෙන් අධිකරණය හමුවේ කියා සිටින්නේ නීති විරෝධී ලෙස වත්කම් රැස් කිරීම සහ වඳ සැත්කම් සිදු කිරීමේ චෝදනා මත කුරුණෑගල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තමන්ව රහස් පොලිසිය විසින් රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කළ බවයි.

    තමන්ට එල්ල කර තිබෙන චෝදනාව පදනම් පදනම් විරහිත බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ තුලින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on අඟහරුවාදා, 06 අගෝස්තු 2019 11:38

    Latest News