ජනපති - රජයට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද ගණනය ඉලෙක්ට්‍රොනික ක්‍රමයට (විඩියෝ)

නොවැ 18, 2018
  • පාර්ලිමේන්තුව ඉදිරියේ දී ක්‍රියාත්මක විය යුතු අන්දම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන පක්‍ෂ නායක හමුවේදී තීරණයක් ගතයුතු බවට එකඟතාවක් ඇතිවී තිබේ.


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වෙයන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික පක්ෂ නායක හමුවේදී මෙම එකඟතාවට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය වේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    පාර්ලිමේන්තුව තුළ සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමට ද සියලු දෙනා එකඟ වී ඇත. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති කළ හැකි පරිදි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය භාවිත කරමින් ඡන්දය ගණනය කිරීම අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිතුමා අවධාරණය කර තිබේ.

     

    ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය

    පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂික හමුව දීර්ඝ ලෙස පැය දෙකකට ආසන්න කාලයක් ඉතා සුහදව සහ මිත‍්‍රශීලි ලෙස අද (18) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළයුතු ආකාරය සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේ දි පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේ දී සුදුසු තීරණයක් ගැනීමටත්, පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමටත් මෙහිදී සියලූ දෙනා එකඟතාවයක් ඇතිකරගනු ලැබීය.

    අතිගරු ජනාධිපතිතුමා මෙම හමුවේ දී සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේ රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක‍්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

    එය තමාටත් රටේ උගත් බුද්ධිමත් පොදු මහජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද වඩාත් පිළිගත හැකි ක‍්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රජයක් වෙනස් කිරීම වැනි ප‍්‍රබල කාරණා පිළිබඳව තීරණයක් ගැනීමේ දී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් මන්ත්‍රිවරුන්ගේ හඩ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නොවන අතර, එහි විනිවිදභාවයක් නොමැති බව ද පැහැදිළි කරනු ලැබීය.

    සර්ව පාක්ෂික සමුළුවට ආරාධනා ලැබූ සියලූ පාර්ශ්ව සාකච්ඡාව නියෝජනය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට සහභාගී නොවන බව ජනාධිපතිතුමාට දන්වා තිබූ අතර, ජනාධිපතිතුමා විසින් ඒ බව සභාවට ප‍්‍රකාශ කරනු ලැබීය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 19 නොවැම්බර් 2018 08:55

    Latest News