පළාත් ඡන්දයක් ඉල්ලා සත්‍යය ගවේෂකයන්ගේ පෙත්සම අගෝ.27 විභාගයට

ජූලි 31, 2019

    කල් දමා තිබෙන පළාත් සභා ඡන්ද විමසීම වහා පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් අගෝස්තු මස 27 වනදා විභාගය සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    "සත්‍යය ගවේෂකයෝ" සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම සැප්තැම්බර් මස 09 වන දා විභාගයට ගැනීම සඳහා කලින් ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබිණ. එහෙත් එම සංවිධානයේ නීතිඥවරු මෝසමක් ඉදිරිපත් කරමින් මෙම නඩුව හදිසි කටයුත්තක් සේ සලකා කලින් දිනයක විභාගයට ගන්නා ලෙස ඉල්ලීමක් කළේය.

    ඒ අනුව පෙත්සම අගෝස්තු මස 27 වන දා විභාගයට ගන්නා ලෙස එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස් .තුරේයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නියම කළේය. පෙත්සම්කාර සත්‍ය ගවේෂකයෝ සංවිධානය කියා සිටින්නේ දිවයිනේ පළාත් සභා බොහෝමයක මැතිවරණය පැවැත්වීම රජය විසින් හිතාමතාම කල් දැමීම හේතුවෙන් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වී ඇති බවයි.

    එම නිසා අදාළ මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on බදාදා, 31 ජූලි 2019 11:52

    Latest News