නව රැකියා ඇතිවන ආර්ථික නවීකරණයක් සමගින් රට නව යුගයකට - අගැමති

ජූලි 30, 2019

    අනාගත පරපුරට නව රැකියා අවස්ථා හිමිවන පරිදි ග්‍රාමීය හා නාගරික ආර්ථිකය නවීකරණය කරමින් නව යුගයකට රට යොමු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී පැවසීය.

    මේ වනවිට රටේ ආර්ථිකය ස්ථාවර කර සංහිදියාව ඇති කිරීමට හැකිවී තිබෙන බවත් මීළඟ ඉලක්කය වන්නේ රට සීඝ්‍රයෙන් දියුණු කිරීම බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද අරලියගහ මන්දිරයේ පැවැති රැකියා විරහිත උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.


    මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් උපාධිධාරී පත්වීම්ලාභීන්ට තොරතුරු යාවත්කාලීන කිරීම හා තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා "ඊ ලර්නින්" පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම ද සිදු විය.

    එම උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ....


    “ග්‍රාමීය සංවර්ධනය ඇති කිරීම සඳහා ආණ්ඩුව විවිධ වැඩසටහන් මගින් මුදල් ලබාදුන්නා. ඒ අනුව යටිතල පහසුකම් දියුණු කළා. ඒ සඳහා සංවර්ධන නිලධාරීන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. දැන් අප අලුතින් සිතිය යුතුයි. ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කළා සේම ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අද පත්වීම් ලබන ඔබ වැනි තවත් පිරිසක් එළියේ සිටිනවා. ඒ හැමෝටම රැකියා ලබාදීම අපේ අරමුණයි. මේ වැඩපිළිවෙළේ ඊළඟ පියවර වන්නේ බාහිර උපාධිධාරීන්ට ද රැකියා අවස්ථා ලබාදීම බව කිව යුතුයි. මෙතෙක් පැමිණි ගමන් මග වෙනස් කරමින් දැන් සමාජ ආයෝජන කරා රට යොමු කළ යුතුව තිබෙනවා. රටක් වශයෙන් අප දේශපාලනිකව හෝ වෙනත් කරුණු හේතුවෙන් එකතැන පල් නොවී අලුතින් සිතා ඉදිරියට ගොස් දියුණුව ළඟා කර ගත යුතුයි. රට තුළ ස්ථාවර බව හා සංහිදියාව ඇති කිරීමට මේ වනවිට අපට හැකිවී තිබෙනවා. මේ පසුබිම තුළ අපට ඉදිරියට යා හැකියි. ඒ ගමනේ අපේ පළමු ඉලක්කය විය යුත්තේ මේ රට තවත් දියුණු කිරීමයි. මෙහිදී දේශපාලන, සමාජ හා ආර්ථික රාමුව ගැන අලූතින් සිතිය යුතුව තිබෙනවා. අලුත් තාක්‍ෂණය උපයෝගී කරගෙන නව යුගයකට රට යොමු කළ යුතුයි. අනාගත පරපුරට විරැකියාව ඉතිරි නොකර ග්‍රාමීය හා නාගරික ආර්ථිකයේ නවීකරණයක් ඇති කර අප ඉදිරියට යා යුතුයි. "අපි අලූතින් සිතමු. අපි ඉදිරියට යමු." 21 වැනි ශත වර්ෂයේ වසර 30 ක 40 ක දෙස බලා එතැනට ගමන් කළ හැකි වන නවීකරණයක් රට තුළ ඇති කළ යුතුයි.”

    එහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසූයේ සිය රාජකාරී ගෞරවාන්විතව කරගෙන යෑමට අවශ්‍ය වටපිටාව රාජ්‍ය සේවකයන් හට ලබාදී ඇති බවත්, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් දස දහසක වැටුප් වැඩි කිරීමක් සිදු කර මූලික වැටුපට එය එක් කිරීමට කටයුතු කළ බවත්ය.


    මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, විජේපාල හෙට්ටිආරච්චි, විජිත් විජයමුණි සොයිසා, එස්. අලී සාහීර් මවුලානා, කාවින්ද ජයවර්ධන, මුජිබුර් රහුමාන් යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයි ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පත්වීම්ලාභීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

    Latest News