කතානායක ක්‍රියාකළ ආකාරය නිවැරදියි...

නොවැ 17, 2018

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවූ තුවාලය මන්ත්‍රීවරුන්ට තුවාල සිදුවූ ආකාරයට බෙහෙත් දමා සුව කළ නොහැකි බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පැවසීය.

    ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවන් දෙයක් සිදුවූ දෙවැනි අවස්ථාව මෙය බවත් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කළ කතානායකවරයාට ස්තුති කරන බවත් ඔහු කියා සිටියේ.

    හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - පාර්ලිමේන්තුව සෙංකෝලය සහිතව ඕනෑම ස්ථානයක රැස්කිරීමට කතානායකවරයාට හැකි. කතානායක කරු ජයසූරිය මහතා ස්ථාවර නියෝග අනුව කටයුතු කළා.

    කතානායකතුමා පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට නියමිත වේලාවට විනාඩි 45 පමණ පසුව පොලිසිය සමඟ සභාවට ආවා. ඉන්පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සම්ප්‍රදායන් අනුගමනය කරමින් සභාවේ කටයුතු ආරම්භකර කළා. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවීමේ නිවේදනය සුමන්තිරන් මහතාට ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නා. පසුගිය 14 වැනි දින අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට විශ්වාසය නෑ කියන විශ්වාසභංග යෝජනාව ඡන්ද විමසීමට ගත්තා.

    කතානායකවරයාට බලය තියෙනවා ස්ථාවර නියෝග 47 (1) උප වගන්තිය යටතේ ඡන්ද විමසීමක් කිරීමේදී නමින් ඡන්දය ගන්න බැරි නම් කටහඬින් ඡන්දය ගන්න. කතානායකවරයාගේ එම ස්ථාවරයට ස්ථාවර නියෝග 42 යටතේ කවුරුවත් විරුද්ධ වුණේ නෑ. විශ්වාසභංග යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ලැබුණේ නෑ යැයි ඔහු කියා සිටියා.

    Last modified on සෙනසුරාදා, 17 නොවැම්බර් 2018 16:11

    Latest News