යල් පැන්න දේශපාලන න්‍යාය පත්‍රය විසිකර තරුණ න්‍යාය පත්‍රයට ප්‍රමුඛත්වය

ජූලි 19, 2019

    දේශපාලනයෙන් ඈත්ව සිටින තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු ඉටු කරදීම සඳහා ඔවුන්ගේ න්‍යාය පත්‍රය දේශපාලකයින්ගේ න්‍යාය පත්‍රය බවට පත්කර ගනිමින් අලූතින් සිතා පියවර ගැනීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ අනුව දේශපාලකයින්ගේ න්‍යාය පත්‍රය ඔවුන්ගේ න්‍යාය පත්‍රය බවට පත්කිරීමේ ක්‍රමයෙන් මිදිය යුතු බවත් ඔහු කියා සිටියේය.  ඉදිරියේදී සෑම ගමකටම ශරීර සුවතා කට්ටල (ජිම් කට්ටල) ලබාදීමට ක්‍රියා කරන බවත් එහි පළමු පියවර ලෙස මේ වසරේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම ජිම් කට්ටල 03 බැගින් ලබා දෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (19) පොල්පිතිගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවති තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක "ගමට කෝටියක්" වැඩසටහනේ දිස්ත්‍රික් මට්ටමින් පළමු ස්ථාන දිනාගත් යෞවන සමාජ සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

    මෙම උත්සවයට සහභාගිවීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපහුව මැතිවරණ කොට්ඨාශයේ කාපට් අතුරා සංවර්ධනය කරන ලද පොල්පිතිගම මඩගල්ල මාර්ගය විවෘත කිරීම, තරුණ සේවා සභාවේ ගමට කෝටියක් වැඩසටහන යටතේ පොල්පිතිගම ප්‍රභාෂ්වර යෞවන සමාජය මගින් ඉදිකරන ලද අමුණුකුල, පොල්පිතිගම පාලම විවෘත කිරීම ද සිදු කෙරිණි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පළ කළා.....

    “තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක ගමට කෝටියක් වැඩසටහන මගින් ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීම සඳහා අද විශාල වැඩකොටසක් සිදු කෙරෙනවා. මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක මට්ටමින් පළමු තැනට පත්වන යෞවන සමාජවලට මෙතෙක් හිමි වූයේ කෝටියක් පමණයි. දෙවන තැන ගන්නා යෞවන සමාජවලට ලක්ෂ පනහක් පමණයි. නමුත් මින් ඉදිරියට දෙවන ස්ථානයට පත්වන යෞවන සමාජ පහක් සඳහා ලක්ෂ 50 බැගිනුත්, තුන් වන ස්ථානයට පත්වන යෞවන සමාජ සඳහා ලක්ෂ 30 බැගිනුත් ලබාදීමට අප පියවර ගන්නවා. සෑම ගමකටම ශරීර සුවතා කට්ටල (ජිම් කට්ටල) ලබාදීමට අප පියවර ගන්නවා. එහි ආරම්භයක් වශයෙන් මේ වසර අවසන් වීමට පෙර සෑම මැතිවරණ කොට්ඨාසයකටම ජිම් කට්ටල 03 බැගින් ලබාදෙනවා.

    අද තරුණ තරුණියන් දේශපාලනයෙන් ඈත් වී සිටිනවා. ඔවුන් කාටවත් ඡන්දය නොදෙන තත්වයට පත්ව සිටිනවා. මෙය දේශපාලන කිරිමට හොද තත්වයක් නොවෙයි. මෙය දේශපාලන ක්‍රමයට අසුභ ලකුණක් බව කිව යුතුයි. එසේ නම් මේ තත්වය වෙනස් කරන්නේ කෙසේ ද කියා අප බැලිය යුතුයි. ආණ්ඩුව කොපමණ වැඩ කළත් අද තරුණයන් කල්පනා කරන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයෙන් බොහොමයක් ඉටු කර නැති බවයි. මේ තත්වය දෙස අප ගැඹුරින් බැලිය යුතුයි. අප කොපමණ වැඩ කර තිබුණත් තරුණ තරුණියන්ගේ ඒ සිතුවිල්ල අප ප්‍රතික්ෂේප කළයුතු නැහැ. අප සියලූ වැඩකටයුතු කළේ ඔබ වෙනුවෙන්. අපේ වැඩ ගැන අඩුපාඩුකම් තිබෙනවා නම් ඔබ එයින් සෑහීමකට පත්වන්නේ නැත්නම් අපට තිබෙන්නේ ඒ ප්‍රශ්නය කුමක්ද කියා බැලීමයි. මොකද අපේ න්‍යාය පත්‍රය තරුණ න්‍යාය පත්‍රය බවට පත් කරන්න බැහැ. අප අද කළ යුත්තේ තරුණ න්‍යාය පත්‍රය අපේ න්‍යාය පත්‍රය ලෙස අලූතෙන් සිතා ඉදිරියට යෑමයි.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, යාපහුව මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායිකා අචිනි ලොකුබණ්ඩාර, තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිව සිටියහ.

    Latest News