වසා දැමූ රුහුණ සරසවියේ පීඨ 3ක් යළි විවෘතයි

ජූලි 17, 2019

    තාවකාලිකව වසා දමා තිබූ රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ තුනක් අද (17) යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

    ඒ අනූව විද්‍යා පීඨය, පශ්චාත් උපාධි පීඨය සහ සාගර විද්‍යා තාක්ෂණ පීඨය අද දිනයේ විවෘත කරන බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සූජීව අමරසේන මහතා සඳහන් කළේය. ඒ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කළහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි කර සේවකයින්ට පහර දීමේ සිද්ධින් කිහිපයක් නිසා පසුගිය 10 වැනිදා විශ්ව විද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගැනිණ. ඒ, සෙසු සිසුන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන සහ සියලු පීඨාධිපතිවරුන් අතර එදින පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

    සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අවහිර කරමින් විරෝධතාවයක නිරත වූයේ, එහි ආරක්ෂාව සඳහා ගත් ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමිනි. එහිදී සිසුන් අවස්ථා දෙකකදී විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් හා ආරක්ෂක නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගත්තේ ය.

    Latest News