නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි (වීඩියෝ)

ජූලි 16, 2019

    බෝපිටිය ප්‍රදේශයේ දිගුකලක සිට පවත්වාගෙන ගොස් ඇති නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් සහ මත්පැන් ජාවාරමක් වැටලීම පසුගියදා සිදු කෙරිණ.

    කොළඹ සුරාබදු ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් 25කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය සිදුවූහ. බෝපිටිය ප්‍රදේශයේ මහා පරිමාණ නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් පිළිබඳව අවස්ථා ගණනාවකදීම තොරතුරු ලැබී තිබිණ. ඒ අනුව, සුරාබදු නිලධාරීන් ජාවාරමේ සියලු තොරතුරු හෙළිකර ගැනීමේ අරමුණෙන් පසුගියදා රාත්‍රියක් මුළුල්ලේ විශේෂ වැටලීමක් සිදු කර තිබේ. එය පටිගත කිරීමට රූපවාහිනී අප ප්‍රවෘත්ති කණ්ඩායමට ද ඔවුන් අවස්ථාව සලසා දුන්නේය. සුරාබදු නිලධාරීන් මෙහෙයුම ආරම්භ කළේ, රාත්‍රී 8.00ට පමණ. අනතුරුව, පැය දෙකකට අධික දුෂ්කර ගමනකින් පසු ඔවුන් අදාළ ස්ථානය වෙත ළගා වූහ. මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් තිබූ ස්ථානය අසල දක්නට ලැබුණේ, අපවිත්‍ර ජලය සහිත ඇල මාර්ගයක්. එහි දුර්ගන්ධය සමඟ මත්පැන් නිෂ්පාදනාගාරයේ ගෝඩා ගන්ධය ද අවට වහනය වෙමින් තිබිණ.එක පෙළට තබා තිබූ ගෝඩා බැරල් 15ක් මෙහිදී සොයා ගැණුන අතර, මත්පැන් නිෂ්පාදනයේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වූහ.

    පෙරා අවසන් කළ ස්ත්‍රීතු ලීටර 700කට අධික ප්‍රමාණයක්, මත්පැන් සැකසීමට යොදාගත් දඟර 15ක්, සඟවා තිබූ සීනි මිටි 15ක්, යීස්ට් සහ ඇමෝනියා විශාල ප්‍රමාණයක් ද සොයා ගැනීමට හැකිව තිබේ. ජාවාරම්කරුවන් මෙම නීති විරෝධි මත්පැන් නවීන වාහන භාවිත කරමින් නුවර සහ ගාල්ල ප්‍රදේශ වෙත බෙදාහැර ඇති බව හෙළි වී ඇත. රාත්‍රියක් පුරා කළ මෙහෙයුමේදී රුපියල් පනස් ලක්ෂයකට අධික මත්පැන් සහ ඊට යොදා ගත් භාණ්ඩ සොයා ගැණින. සියලු භාන්ඩ, ජාඇල සුරාබදු කාර්යාල වෙත රැගෙන ගිය අතර, භාණ්ඩ සමඟ සැකකරුවන් ලබන බ්‍රහස්පතින්දා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    Last modified on අඟහරුවාදා, 16 ජූලි 2019 20:24

    Latest News