විල්පත්තු ගැන අධිකරණය කරුණු ඉල්ලයි

ජූලි 15, 2019

    විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු , කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් කරුණු විමසා ලබන 19 වනදා අධිකරණය දැනුවත් කරන මෙන් අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

    අදාළ වනාන්තර කලාපය හෙළිකොට සිදුකර තිබෙන නීතිවිරෝධී අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් අද ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුනාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය සිදකෙරිණ.

    මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණයට දන්වා සිටියේ විල්පත්තු ජාතික වනාන්තර කලාපයට මීටර් 400ක් පමණ ආසන්නයේ පිහිටි මරිච්චුකට්ටු, කල්ලාරු වනාන්තරයේ ඇතැම් ප්‍රදේශ කිසියම් පිරිසක් විසින් එළි කොට එහි අනවසර ඉදිකිරීම් රැසක් සිදුකරමින් තිබෙන බව සඳහන් කළේය.

    වන සංරක්ෂණ පනතේ තුන් වන වගන්තියට අනුව මේ ආකාරයෙන් වනාන්තර හෙළි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එම වරදට වරදකරු වන පුද්ගලයකුට වසර පහක් දක්වා සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක් දක්වා දඩ නියම කිරීමට අධිකරණයට හැකියාවක් පවතින බවද පෙන්වා  දුනි.

    එබැවින් අදාළ වනාන්තර කලාපය හෙළිකොට අනවසර ඉදිකිරීම් තවදුරටත් සිදු කිරීම තහනම් කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිිටියේය.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ නෙරන්ජන් ජයසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ වනාන්තර පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ පළ කෙරුණු වාර්තා පදනම් කරගෙන පෙත්සම්කරු මෙම නඩුව ඉදිරිපත් කර තිබෙන බවට චෝදනා කළේ.

    මෙහිදී ජනක් ද සිල්වා විනිසුරුවරයා රජයේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ මරිච්චකට්ටු වනාන්තර කලාපයේ වර්තමාන තත්ත්වය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් විමසා උපදෙස් ලබාගෙන තිබේ ද යන්න පිළිබඳව.

    ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම කරුණට අදාළව තමන්ට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් උපදෙස් ලබා ගැනීමට හැකියාවක් නොලැබුණු බවයි.

    ඒ අනුව මෙම පෙත්සම ලබන 19 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය එදිනට මෙම කරුණට අදාළව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් උපදෙස් ලබාගෙන අධිකරණය දැනුවත් කරන ලෙස රජයේ නීතිඥවරයාට අභියාචනාධිකරණය නියම කළේය. 

    මෙම පෙත්සම මුලින්ම අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ විභාගයට ගැනුණු අතර එහි තීන්දුව අගෝස්තු මස 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණ. එහෙත් මහින්ද සමයවර්ධන විනිසුරුවරයා නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් ඉවත් වීම නිසා මෙම පෙත්සම මුලසිට යළි විභාග කිරීමට අභියාචනාධිකරයේ සභාපති විනිසුරුවරයා තීන්දු කළේය.  ඒ අනුව ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් විභාගය යළි පැවැත්වේ.

    Last modified on සදුදා, 15 ජූලි 2019 12:16

    Latest News